Home » නොච්චියාගම මහජන පුස්තකාලය ස්වයංක්‍රීයකරණයට

නොච්චියාගම මහජන පුස්තකාලය ස්වයංක්‍රීයකරණයට

දෘශ්‍යාබාධිත අයට පොත් ඇසීමටත් පහසුකම්

by gayan
December 2, 2023 1:00 am 0 comment

එප්පාවල - තිසර සමල්

නොච්චියාගම මහජන පුස්තකාලය ස්වයංක්‍රීයකරණය කර, ‘ඩිජිටල් හා ස්වයංක්‍රීය දිස්ත්‍රික්ක ආදර්ශ මහජන පුස්තකාලය’ නමින් ජනතා අයිතියට පැවරීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (29) සිදු කෙරිණි.

මේ සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, අන්තර්ජාතික සන්නිවේදන තාක්ෂණ ආයතනය යන ආයතන අනුග්‍රහය දක්වා ඇත. ලංකාව පුරා මෙවැනි ඩිජිටල් පුස්තකාල 25ක් පිහිටුවා ඇති අතර, ඒවා සියල්ල ජාලගත කර තිබේ.

මෙමඟින් යම් පාඨකයකුට කියවීම සඳහා පොතක් අවශ්‍ය නම් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ වෙබ් අඩවියට පිවිසීමෙන් තමන්ට අවශ්‍ය පොත ඇතිදැයි දැන ගැනීමේ හැකියාව පවතියි. පොත් බැහැර ගෙනයෑමේදී පැරණි කාඩ් ක්‍රමය වෙනුවට ඩිජිටල් කාඩ්පතක් මෙහිදී භාවිත කෙරේ. මෙහි පොත් 13,000කට අධික ප්‍රමාණයක් ඇති අතර, ඉන් පොත් 850ක් පමණ පරිගණකගත කර ඇති අතර, දෘශ්‍යාබාධිත අයකුට මෙහි තිබෙන පොත්වලට සවන් දීමේ පහසුකම් සපයා ඇත. බ්‍රේල් ක්‍රමයට ද පොත්වල විස්තර සපයා ඇති අතර ඉන් තමන්ට අවශ්‍ය පොත් තෝරාගෙන පරිගණකය හරහා ඊට සවන් දීම කළ හැකිය. මීට අමතරව කුඩා දරු දැරියන්ට ද මෙහි පුස්තකාලයක් පිහිටුවා ඇත. පෙරපාසල් දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා එක්ව ‘ෆන් ෆෝ ඉංග්ලිෂ්’ වැඩසටහන මෙහිදී ක්‍රියාත්මක කෙරේ. මීට අමතරව රජරට විශ්වවිද්‍යාලය හා එක්ව රොබෝ තාක්ෂණය භාවිත කර පරිගණක අධ්‍යයන වැඩසටහන් ද ක්‍රියාත්මක කර ඇත.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අභයලක්ෂ්මී හේවාපතිරණ, ආණ්ඩුකාර ලේකම් සුජන්ත ඒකනායක, පළාත් පාලන කොමසාරිස් එන්.එච්.ආර්. නිශාන්ත, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති මහාචාර්ය නන්ද ධර්මවර්ධන, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ උතුරු මැද පළාත් සම්බන්ධීකාරක පද්මසිරි සුබසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පාසල් දරු දැරියන් පිරිසක් ද මීට එක් වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT