Home » ගලගෙදර ප්‍රාථමිකයේ ඉදිවෙන “කඳුකර බෝට්ටුව” පාවෙන පුස්තකාලය
දරුවන්ට නිදහසේ කියවන්න

ගලගෙදර ප්‍රාථමිකයේ ඉදිවෙන “කඳුකර බෝට්ටුව” පාවෙන පුස්තකාලය

by gayan
December 2, 2023 1:00 am 0 comment

ප්‍රසාද් වර්ණකුල

කියවීම මිනිසා සම්පූර්ණ කරයි. කුඩා කාලයේ සිට දරුවන්ට මෙය පුරුදු පුහුණු කළ යුතුය. නිදහසේ දරුවන්ට පොතක් කියවන්නට නිර්මාණය වන “කඳුකර බෝට්ටුව” පාවෙන පුස්තකාලය සොයා අප ගලගෙදර බලා ගියෙමු.

මහනුවර කටුගස්තොට අධ්‍යාපන කලාපයේ ගලගෙදර අධ්‍යාපන කොට්ඨාසයට අයත් ගලගෙදර ප්‍රාථමික විද්‍යාලය ආරම්භ කරන ලද්දේ 1823 වසරේදීය. එහි මුල්ම විදුහල්පති බර්ගර් ජාතික වෑන් කියුලර් වේ. 1967 දී වත්මන් භූමියේ ස්ථාපිත කරන ලද පාසලට මේ වන විට වසර 200කි. මෙම විදුහල මහනුවර ඉදිකළ මුල්ම විදුහල්වලින් එකකි. මෙම විදුහලේ වත්මන් විදුහල්පති ලෙස කටයුතු කරන්නේ ඩී.ආර්.ඩබ්ලිව්.එන්.බී. හේනේගම මහතායි.

දරුවන්ට අධ්‍යාපනයේදී පොතපතෙහි දැනුම පමණක් නොව, විෂය සමගාමී අත්දැකීම් ද ලබා දිය යුතුය. මේ පාසලෙහි විෂය සමගාමී කටයුතු 14ක් ක්‍රියාත්මක වන්නේ සක්‍රීය මට්ටමිනි. වයස අවුරුදු 11න් පහළ ක්‍රිකට් කණ්ඩායම මෙන්ම පාසලේ සියලුම දරුවන් බාලදක්ෂයන් වීම ද ඒ අතර වේ. සියලු දරුවන් පරිසර නියමු සාමාජිකයන්, ළමා සමාජ සාමාජිකයන් වේ. කරාතේ,චෙස්,නර්තන කණ්ඩායම් මෙන්ම දරුවන් 100කින් යුතු අපරදිග තූර්යවාදක කණ්ඩායමක් ද තිබේ. පාසලට ඇතුළුවන දරුවකු විෂය සමගාමී කටයුතු දෙකක්වත් අවම කළ යුතුය. ඒ සදහා පහසුකම් දරුවන්ට ලබාදී ඇත.

එම විද්‍යාලයේ විදුහල්පති ඩී.ආර්.ඩබ්ලිව්.එන්.බී. හේනේගම මහතා මෙසේ අදහස් දැක්වීය.

“අප පාසලේ තේමා පාඨය ‘ දිරියෙන් ඉදිරියට – දැනුමෙන් නව ලොවට” යන්නයි. පාසලේ ළමයි 1300ක් පමණ ඉන්නවා. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් ඒකකයකුත් පැවැත්වෙනවා. ගුරු මණ්ඩලය 38 කුත්, අනධ්‍යන කාර්ය මණ්ඩලය 13කුත් සිටිනවා. 2021 විදුහල්පති ලෙස වැඩ භාරගත් පසු පාසලේ ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනයක් ඇති කිරීමට නව දේවල් ගනණාවක් එකතු කළා. එහි අලුත්ම ව්‍යාපෘතිය තමයි කඳුකර බෝට්ටුව පාවෙන පුස්තකාලය. විශේෂයෙන් කඳුකරේ අපට බෝට්ටුවක, නැවක අත්දැකීමක් නෑ. සමහර දරුවන් මුහුද දැකලත් නෑ. අපේ දරුවන්ට ඒ අත්දැකීමත් ලබා දුන්නොත් ඔවුන් කොතරම් සතුටු වේවිද. මේ පිළිබඳ මා පාසල් සංවර්ධන කමිටුව, පාසල් ශිෂ්‍ය සංගමය, ආදි ශිෂ්‍ය සංගමය දැනුම්වත් කළා. ඔවුන්ගේද කැමැත්ත මත අද කඳුකරයට අඩි හැටක ටෝලර් බෝට්ටුවක් ගෙනවිත් තිබෙනවා. වරාය අධිකාරිය සමඟ සම්බන්ධ වී ධාවනයෙන් ඉවත් කළ බෝට්ටුවක් හොයා ගත්තා. එය අපට පරිත්‍යාග කළේ නැඟෙනහිර පළාත් සභාවේ හිටපු ඇමතිනී ආරියවතී ගලප්පත්ති මැතිනියයි. ලබන මාසේ මෙය සිසු අයිතියට පවරා දීමට කටයුතු කරනවා. මේ දිනවල පුස්තකාලය හදන කටයුතු සිදු වෙනවා. මේ සදහා අපට 1992/94 ආදි ශිෂ්‍ය කණ්ඩායම් සුවිසාල සහයෝගයක් ලබා දෙනව. 92 කණ්ඩායම විදුහලට මුද්‍රණාලයක් පරිත්‍යාග කළා. පාසලේ සියලු ප්‍රශ්නපත්‍ර, ලිපි ලේඛන එමඟින් දරුවන් අතට පත් කරනවා. 94 කණ්ඩායම තමයි නව්‍ය බෝට්ටු පුස්තකාලය සඳහා අතහිත දෙන්නේ.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT