Saturday, May 10, 2025
Home » මන්නා පහර එල්ල කරමින් කළුතර ජනතාව භීතියට පත් කළ දොඩංගොඩ ‘පූස් කොටා’ මාට්ටු

මන්නා පහර එල්ල කරමින් කළුතර ජනතාව භීතියට පත් කළ දොඩංගොඩ ‘පූස් කොටා’ මාට්ටු

සැකකරු හමුද­ාවෙන් පලා ආ ගජබා සෙබළෙක්

by gayan
December 2, 2023 1:00 am 0 comment

බණ්ඩාරගම A.T.M. එකේ රැඳී සිටි පිරිස කොල්ලකා ඇත්තේ ඔහුමයි

සැකකරුවන් සමඟ විදේශිය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක්, මන්නා දෙකක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3420ක් හා කොල්ලකන ලද යතුරුපැදියක් ද පොලිසිය භාරයට ගෙන තිබේ.

මෙම සැකකරුවන් කළුතර දකුණ හා උතුර, පාණදුර දකුණ හා උතුර, වාද්දුව, මොරොන්තුඩුව, බණ්ඩාරගම, මිල්ලනිය, අඟුරුවාතොට, හොරණ, කොට්ටාව, මොරටුව හා දෙහිවල ආදි පොලිස් වසම්වල ත්‍රිරෝද රථ හා යතුරුපැදි සොරාගෙන එම වාහනවලින් ගමන් කරමින් කොල්ලකෑම් සිදුකර තිබෙන බව පොලිසිය පවසයි.

මෙහි ප්‍රධාන සැකකරු වන ‘පූස් කොටා’ නමැති සැකකරු දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ හිටපු සෙබළෙකු ද වන ඔහු ඉන් පලාවිත් දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමඟ එකතුව මෙලෙස කොල්ලකෑම් සිදු කරන බව අනාවරණය වී තිබේ.

පසුගිය 29 වැනිදා පාණදුර ප්‍රදේශයේදී මොබිටෙල් ආයතනයේ නියෝජිතයෙකු හට මන්නයකින් පහර දී තුවාල සිදු කිරීම හා මුදල් කොල්ලකෑම, කොල්ලකන ලද ත්‍රිරෝද රථයකින් පැමිණ බණ්ඩාරගම නගරයේදී ඒ.ටී.එම්. යන්ත්‍රයක් අසල සිටි පුද්ගලයෙකුට පහරදීම මෙන්ම යතුරුපැදියක් කොල්ලකෑම ඇතුළු අපරාධවලට සම්බන්ධ ප්‍රධාන සැකකරු මොහු බවට අනාවරණය වී තිබේ.

කළුතර දකුණ පොලිසියේ අපරාධ අංශයේ නිලධාරින් විසින් එම යතුරුපැදියද සිය භාරයට ගෙන තිබේ.

මොවුන් විසින් සිදු කළ අපරාධ හා කොල්ලකන ලද දේපොළ සොයා ගැනීම සඳහා පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරන අතර අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතය. කළුතර දකුණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ, අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික ද සිල්වා ඇතුළු නිලධාරින් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

හල්තොට සමූහ – විනීතා මානෙල් ගමගේ

පොතුපිටය – සුමිත් ප්‍රේමතිලක

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT