ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩිකාවන් වෙනුවෙන් සංවිධාන කරන ප්‍රධානතම තරගාවලිය වන අන්තර් ක්‍රීඩා සමාජ ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ ස්ථාන වෙන් කර ගැනීමට යුද හමුදා සහ ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ඊයේ මුවර්ස් පිටියේ පැවති පළමු අවසන් පූර්ව තරගයේදී නාවික හමුදාවට එරෙහිව ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 2ක ජයකින් යුද හමුදාව අවසන් තරගයට පිවිසි අතර, ගුවන් හමුදාව බීආර්සී පිටියේදී හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය ලකුණු 24කින් පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.
මුවර්ස් පිටියේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් නාවික හමුදා ක්‍රීඩිකාවෝ ඕවර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 130ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ යුද හමුදාවට අයහපත් කාලගුණය හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවන විට ඕවර 43.2කදී කඩුලු 8කට රැස් කර තිබූ ලකුණු සංඛ්‍යාව 117කි. මේ තරගයේ ජයග්‍රාහකයන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව තේරීමට කටයුතු කළ අතර, ඒ අනුව ඕවර 43.2කදී යුද හමුදාව පිළිතුරු ලෙස රැස් කර තිබිය යුතු වූ ලකුණු සංඛ්‍යාව 117ක් විය. ඒ අනුව යුද හමුදාවට කඩුලු 2ක ජය අත් විය.
යුද හමුදා පිල වෙනුවෙන් අනුෂ්කා සංජීවනි ලකුණු 32ක්, නෙත්මි සේනාරත්න ලකුණු 24ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී උදේශිකා ප්‍රබෝධනී කඩුලු 2ක් දවා ගත්තාය.
පන්දු 55කින් ලකුණු 25ක් රැස් කළ නිලක්ෂනා සඳමිණි නාවික හමුදා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූවාය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ නිමේෂා මධුෂානි ලකුණු 12කට කඩුලු 3ක් දවාගත් අතර, ඇය යැවූ ඕවර 10න් 5ක්ම නිලකුණු ඕවර වීම කැපී පෙනිණි. ඇයට අනගි සහායක් දුන් අචිනි කුලසූරිය ද කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූවාය.
මූලික වටයට කණ්ඩායම් 7ක් එක් වූ ‘ඒ’ කාණ්ඩයෙන් තරග කළ නාවික හමුදාව තරග 6කදී ජයග්‍රහණ 5ක් සහ විසඳුමකින් තොර තරගයක් සමඟ එම කාණ්ඩයේ අපරාජිතයන් ලෙස ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගනිමින් පළමු අවසන් තරගයට පිවිසි අතර, යුද හමුදාව ‘බී’ කාණ්ඩයේදී තරග 7කින් 5ක් ජය ගෙන දෙවැනි ස්ථානයෙන් අවසන් පූර්ව වටයට පිවිසියේය.
දෙවැනි තරගයේ පළමු පන්දුවට පහර දෙමින් ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ දුන් ලකුණු 110ක ඉලක්කය හමුවේ හලාවත මේරියන්ස් කණ්ඩායමට ඕවර 34කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 85ක් පමණි.
මේරියන්ස් පිළිතුර ඉනිමේදී ලකුණු 31ක් රැස් කළ දෙව්මි විජේරත්න වැඩිම ලකුණුලාභිනිය වූ අතර, සෙසු පිතිකාරිනියන්ට ලකුණු 20 සීමාවට පිවිසීමට ගුවන් හමුදා පන්දු යවන්නියන්ගෙන් අවස්ථාවක් නොලැබිණි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ තරුකා ශෙහානි ලකුණු 16කට කඩුලු 5ක් බිඳ දැමූ අතර, ඉනෝෂි ප්‍රනාන්දු සහ තරුෂි තත්සරණි කඩුලු 2 බැගින් දවා ගත්හ.
ගුවන් හමුදාව වෙනුවෙන් සඳුනි අබේවික්‍රම ලකුණු 30ක් සහ මල්ෂා ශෙහානි ලකුණු 20ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී සචිනි නිසංසලා සහ දෙව්මි විජේරත්න කඩුලු 3 බැගින් ද, කවීෂා දිල්හාරි සහ සඳුනි නිසංසලා කඩුලු 2 බැගින් ද දවා ගැනීමට සමත් වූහ.
ගුවන් හමුදා ක්‍රීඩිකවෝ ‘ඒ’ කාණ්ඩයේ අපරාජිතයන් ලෙස අවසන් පූර්ව වටයට පිවිසියේ තරග 7කින් 6ක් ජය ගනිමිනි. ඔවුන්ගේ එක් තරගයක් විසඳුමකින් තොරව නිමා වී තිබිණි. හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය ඊයේ තරගයට එක් වූයේ තරග 6කින් 5ක් ජයගෙන ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයෙනි. මේ කණ්ඩයේ මූලික වටයට කණ්ඩායම් 8ක් එක් විය.
ගුවන් හමුදාව සහ යුද හමුදාව අතර තරගාවලියේ අවසන් මහ තරගය 5 වැනිදා පැවැත්වීමට නියමිතය.
යුද හමුදාවට කඩුලු 2ක ජයක්
නාවික හමුදාව – 130/8 (ඕවර 50) නිලක්ෂනා සඳමිණි 25, හසිනි පෙරේරා 22 (නිමේෂා මධුෂානි 12/3, අචිනි කුලසූරිය 26/3)
යුද හමුදාව -117/8 (ඕවර 43.2) අනුෂ්කා සංජීවනි 32ක්, නෙත්මි සේනාරත්න 24 (උදේශිකා ප්‍රබෝධනී 8/2)
ගුවන් හමුදාවට ලකුණු 24ක ජයක්
ගුවන් හමුදාව – 109 (ඕවර 43) සඳුනි අබේවික්‍රම 30, මල්ෂා ශෙහානි 20 (සචිනි නිසංසලා 16/3, දෙව්මි විජේරත්න 28/3, කවීෂා දිල්හාරි 14/2, සඳුනි නිසංසලා 21/2)
හලාවත මේරියන්ස් – 85 (ඕවර 34) දෙව්මි විජේරත්න 31 (තාරුකා ශෙහානි 16/5, ඉනෝෂි ප්‍රනාන්දු 8/2, තරුෂි තත්සරණි 9/2)
නිරෝෂාන් ප්‍රියංකර