Saturday, May 10, 2025
Home » පලස්තීන ධජය ක්‍රිකට් පිත්තේ ප්‍රදර්ශනය කළ පාකිස්තාන ක්‍රීඩකයාට දඩ

පලස්තීන ධජය ක්‍රිකට් පිත්තේ ප්‍රදර්ශනය කළ පාකිස්තාන ක්‍රීඩකයාට දඩ

ජාතිවාදි අරමුණු ක්‍රීඩාවේදී බෑ

by gayan
December 2, 2023 1:00 am 0 comment

පාකිස්තානයේ පැවැත්වෙන විස්සයි20 ජාතික ක්‍රිකට් ශූරතාවලියේදී තම පිත්තේ පලස්තීන ධජය ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් අසාම් ඛාන්ට දඩ වශයෙන් සියයට 50ක තරග ගාස්තුවක් කපා හැරීමට තීරණය වෙයි.

පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායක මොයින් ඛාන්ගේ පුත් කඩුලු රකින ක්‍රීඩක අසාම් ඛාන් තම පිත්තේ පලස්තීන ධජයේ ස්ටිකරයක් අලවාගෙන පිටියට පිවිසි අතර, එය ඉවත්කරන ලෙස තරග විනිසුරු ඔහුට දැනුම් දුන්නද එය ප්‍රතික්ෂේප කරමින් අසාම් ඛාන් පන්දුවට පහරදී තිබේ. මේ හේතුවෙන් පාකිස්තාන ක්‍රිකට් තරග තීරක විසින් ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයක් නියම කරන ලදී. මෙමඟින් ජාතිවාදී අරමුණු ප්‍රදර්ශනයවන බවත් එවැනි දෑ ක්‍රීඩාවේදී ප්‍රසිද්ධ කිරීම සපුරා තහනම් බවත් ප්‍රකාශ වේ.

තරගයක් අතරතුර විනිසුරුවරයෙකුගේ උපදෙස් හෝ නියෝග ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වීම පාකිස්තාන ක්‍රිකට් චර්යාධර්ම සංග්‍රහයේ වගන්ති උල්ලංඝනය කිරීමක් බවට තරග තීරකවරයා පෙන්වාදී තිබේ. කරච්චියේ ජාතික බැංකු ක්‍රීඩාංගණයේ ලාහෝර් බ්ලූස් කණ්ඩායම හා කරච්චි වයිට්ස් අතර තරගයේදී මෙම සිදුවීම වාර්තා විය.

අයිසීසී නීතිවලට අනුව, ක්‍රීඩකයන් හෝ කණ්ඩායම් නිලධාරීන් ඔවුන්ගේ උපකරණ මත පුද්ගලික පණිවිඩ ඇඳීමට, ප්‍රදර්ශනය කිරීමට හෝ වෙනත් ආකාරයකින් ප්‍රකාශ කිරීමට කල්තියා අනුමැතියක් ලබා නොමැතිනම් එවැන්නකට අවසර නැත. මෙම දඩය පැනවීම සම්බන්ධයෙන් ක්‍රිකට් ලෝලීන් සහ ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කෝපයකින් යුතුව අදහස් පළකොට ඇති අතර, පාකිස්තාන ක්‍රිකට් ආයතනය විවේචනය කොට ඇත.

අසාම් ඛාන් 2021 සිට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කර නැති නමුත් වේගයෙන් පහර දීමේ හැකියාවන් හේතුවෙන් විස්සයි 20 ආකෘතියේ ප්‍රසිද්ධ චරිතයක් බවට පත්ව ඇත. කෙසේ වුවද අසාම් ඛාන්ට පැනවූ සියයට 50ක තරග ගාස්තුව කපා හැරීම සම්පූර්ණයෙන් ඉවත් කිරීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ. අසාම් ඛාන් ශ්‍රී ලංකාවේ පැවැති එල්පීඑල් තරගාවලියේදී ගෝල් ග්ලැඩියේටර් පිල නියෝජනය කරමින් ක්‍රීඩා කළේය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT