Home » ලංකාවේ දෙවන ස්වභාවික වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම් අරඹන්න පියවර

ලංකාවේ දෙවන ස්වභාවික වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම් අරඹන්න පියවර

by chanaka
December 3, 2023 8:46 am 0 comment

ශ්‍රී ලංකාවේ දෙවන ස්වභාවික වායු විදුලි බලාගාරය මුතුරාජවෙල ඉදිකිරීමට යයි. එහි ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත අතර එහි ඉදිකිරීම් කටයුතු අවසන් වන්නේ 2026 වසරේදීය.

මෙමගින් ජාතික විදුලිබල පද්ධතියට අලුතින් එකතු වන විදුලි ධාරිතාවය මෙගාවොට් 350 කි. එය ඉදිකිරීමට වැය වන මුදල රුපියල් මිලියන 750 ක් වේ.

මෙම බලාගාරය ඉදිකිරීම් සදහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුතුරාජවෙල පිහිටි අක්කර 10ක ඉඩමක් ලබා දී තිබේ. මෙම ඉඩම ලබා දීමට අදාළ ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පරිශ්‍රයේදී පසුගියදා (01) සිදු කෙරිණ.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙනුවෙන් එහි සභාපති රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති නලින්ද ඉලංගකෝන් මහතා ගිවිසුම සදහා අත්සන් තැබූහ.

රාජ්‍ය හා පෞද්ගලික සංවර්ධන ව්‍යාපෘති සදහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු ඉඩම් සුදුසු පරිදි යොදවන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එම සංස්ථාවට උපදෙස් දී තිබු අතර මෙම ඉඩම ලබා දුන්නේ ඒ අනුවයි. ලංකා විදුලිබල මණ්ඩලයට මෙම ඉඩම ලබා දීමෙන් රුපියල් මිලියන 720 ක ආදායමක් උපයන බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සදහන් කරයි.

මෙම විදුලි බලාගාර ව්‍යාපෘතියට අදාලව භූගත නළමාර්ග පද්ධතියක් (ඩීසල් හා සිසිලන ජලය) ඉදිකිරීම සදහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මුතුරාජවෙල පිහිටි අක්කර 2 ½ ක ඉඩමක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත වසර 30 කට බදු දීමට අදාල ගිවිසුමකටද මෙහිදී සභාපතිවරු විසින් අත්සන් තැබූහ.

ශ්‍රී ලංකාවේ පළමු ස්වභාවික වායු විදුලි බලාගාරය ඉදිකෙරෙන්නේද මේ ආශ්‍රිතවයි. එහි ඉදිකිරීම් කටයුතු 2021 වසරේදී ආරම්භ කෙරුණු අතර ඉදිකිරීම් වසර 3 ක කාලයකින් අවසන් කිරීමට නියමිතයි. මෙම විදුලි බලාගාරය මෙගාවොට් 350 ක විදුලි ධාරිතාවයකින් යුතුවේ. මෙම බලාගාර දෙක ඉදිකර අවසන් වන විට මෙරට ජාතික විදුලිබල පද්ධතියට එකතු වන විදුලි ධාරිතාවය මෙගාවොට් 700 කි.

ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ශ්‍රීමති සේනාධීර, අතිරේක සාමාන්‍යාධිකාරී සි.බි. අමරසිංහ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ඉඩම් හා අලෙවි) හේමන්ත කමලසිරි, ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෝරන්ස් ජයතිලක, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික බි. විජයරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT