ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කළ දුම්රිය මැදිරි 160න් 125ක් දැනට ධාවනයේ යෙදෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (01) පැවසීය.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂය දින පැවති විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අමාත්‍යාංශයේ ප්‍රකාශයක් ලෙස ඇමැතිවරයා මේ බව පැවසීය.
ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
සුළු අලුත්වැඩියාවන් සඳහා යොදවා ඇති මැදිරි ගණන 27ක්. කිසිදු බර අලුත්වැඩියාවක් සඳහා එකදු දුම්රියක් හෝ රත්මලාන අංගණය වෙත යොමු කර නැහැ. ඉන්දියාවෙන් ආනයනය කළ එම් 11 එන්ජින්වලින් 05ක් මේ වන විට ධාවනයට යොදවා තිබෙනවා. රෝද ගෙවී යාම නිසා නැවත රෝද සවි කිරීමට එන්ජින් දෙකක් යොමු කර තිබෙනවා. ඉන් එක් එන්ජිමක් මේ මස අවසානයේ ද, ඉතිරි එන්ජිම ලබන ජනවාරියේ මුල් කාලය තුළදී සේවය සඳහා නිදහස් කළ හැකියි. දුම්රිය හරස් මාර්ගයකදී ලොරියක ගැටීම නිසා හානියට පත් වූ රත්මලාන කර්මාන්ත ශාලාවේ අලුත්වැඩියාව සඳහා යොමු කර ඇති එන්ජින් ගණන එකක් වෙනවා. අමතර කොටස් ඇණවුම් කර ඒවා ලැබෙන තෙක් තවත් එන්ජින් 02ක් රඳවා තිබෙනවා.
අවුරුදු එකහමාරක් පුරාවට මම අමාත්‍ය ධුරයේ සිටිනවා. දුම්රිය වෘත්තීය සමිති කළ මාෆියාවක් නිසා වරායේ ඇතුළේ මෙම එන්ජින් ගොඩගසා තිබුණා. එම එන්ජින් නිසා වරාය කටයුතුවලට බාධා වන නිසා නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ මැදිහත් වීම මත දඩ මුදල් නොමැතිව නිදහස් කර ගත්තා. එම වෘත්තීය සමිති නිසා තමයි මෙම මැදිරි නිදහස් කර ගැනීමට නොහැකි වුණේ. අනුරාධපුර සිට මාඕ දක්වා ජනවාරිවල දුම්රිය මාර්ගය වහනවා. ඉතිරි ටිකත් අලුත්වැඩියා කළාට පසුව කොළඹ සිට කන්කසන්තුරේ දක්වා පැය පහහමාරකින් හයකින් යන දුම්රිය මාර්ගයක් නිර්මාණය වෙනවා. වංචා දූෂණ කුමක් හෝ මේ දෙපාර්තමේන්තුව තුළ සිදු වේද යන්න සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීලා තිබෙනවා.