Home » අයියාට පොල්ලකින් ගසා මරා පිළිස්සූ මල්ලීව අත්අඩංගු වට

අයියාට පොල්ලකින් ගසා මරා පිළිස්සූ මල්ලීව අත්අඩංගු වට

දින තුනක් පෙට්‍රල් දමා පුලුස්සලා

by gayan
December 3, 2023 1:00 am 0 comment

මෘත ශරීරය පුලුස්සන ලදැයි අනාවරණය වූ ස්ථානය.

මල්ලි විසින් අයියාට පොල්ලකින් ගසා ඝාතනය කර මෘත ශරීරය පුලුස්සන ලදැයි සැක කෙරෙන 55 හැවිරිදි මරණකරුගේ මල්ලිව ඊයේ (01) අකුරැස්ස පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, අකුරැස්ස, හේනේගම, බලපාත, උඩුගමවත්ත හේන පදිංචිව සිටි 65 හැවිරිදි මනම්පේරිගේ කරුණාදාස නමැති අයෙකි.

මියගිය අයියා සහ පහරදුන් මල්ලිගේ නිවෙස් දෙකම පිහිටා ඇත්තේ එකම ඉඩමක වන අතර මියගිය අයියා අඹු දරුවන් සමඟ පදිංචිව සිටින්නේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේය. කුරුඳු තැළීම රැකියාව ලෙස කරගෙන යන ඔහු මසකට වරක් ගමේ නිවෙසට පැමිණ කුරුඳු තළා මුදල් රැගෙන යළි දෙහිඅත්තකණ්ඩියට යාම සිරිතක් ලෙස පවත්වාගෙන ගොස් තිබේ.

ඉකුත් ඔක්තෝබර් මස 28 වැනිදා නිවෙසට පැමිණෙන බව පවසා සිටියත් ඔහු අතුරුදන්ව ඇති බවට ඔහුගේ බිරිය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව පොලිසිය විසින් කරන ලද විමර්ශනයේදී සැකකරුගෙන් පොලිසිය කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ කරුණු රාශියක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

ඒ අනුව ඊයේ (01) මරණකරුගේ මල්ලිව සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලදුව, පසුගිය ඔක්තෝබර් 27 වැනිදා රාත්‍රී සැකකරු දඩයමේ ගොස් ඇතත් දඩයම අසාර්ථක වූ බැවින් 28 වැනිදා උදේ 4.00ට පමණ නිවෙසට පැමිණෙන විට යමෙකු දල්වන ලද විදුලි පන්දමක් තම මුහුණට එල්ලවුණ බැවින් සොයා බැලූ විට අයියා විසින් විදුලි පන්දම රැගෙන ඉදිරියට පැමිණ ඇති අතර, ළිඳ ළඟදී අයියාට පොල්ලකින් පහරදී ඝාතනය කර දින 03ක් මුළුල්ලේ පෙට්‍රල් දමා මෘත ශරීරය පුලුස්සා ඉතිරි සුන්බුන් අසල දොළට දමන ලද බව අනාවරණය කරගෙන තිබේ. වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ‍ සැකකරුගේ බිරිය මෙයට වසර දෙකකට පෙර දියේ ගිලී මියගොස් ඇතැයිද ඊට පෙර මියගිය අයියාත් තම බිරියත් අතර අනියම් සම්බන්ධයක් තිබූ බැවින් තමන් ඔහු සමඟ වෛරයකින් පසු වූ බව අනාවරණය වී තිබේ.

පොලිස් නිලධාරීන් විසින් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ඉහත කරුණු සියල්ල අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ. මාතර අපරාධ පරීක්ෂණාගාර (soco) නිලධාරීන් පරීක්ෂණ කටයුතුවලට සහාය වන අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබේ. සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ඉදිරි පරීක්ෂණ කටයුතු කරගෙන යන අතර මෘත ශරීරය පුලුස්සා දමන ලදැයි සැක කෙරෙන ස්ථානය පොලිසිය විසින් සොයාගෙන තිබේ.

අකුරැස්ස මධ්‍යම විශේෂ විජිත සල්ගාදු

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT