Sunday, May 11, 2025
Home » කොළඹ-මුම්බායි අතර ගුවන් ගමන් වාර ගණන ඉහළට

කොළඹ-මුම්බායි අතර ගුවන් ගමන් වාර ගණන ඉහළට

by chanaka
December 4, 2023 10:23 am 0 comment

ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සිට ඉන්දියාවේ මුම්බායි දක්වා දිනකට ගුවන් ගමන් වාර ද්විත්වයක් හඳුන්වා දී තිබේ.

මේ අනුව සෑම දිනකම පැය 23:45 ට UL141 සහ පැය 17:10 ට UL143 අංක දරන ගුවන් යානා කොළඹ සිට මුම්බායි දක්වා ද UL142 සහ UL144 අංක දරන ගුවන් යානා මුම්බායි සිට කොළඹ දක්වා ද පිළිවෙලින් පැය 03:10 ට සහ පැය 20:45 ට ක්‍රියාත්මක වේ.

මෙම නව පියවර මගින්, කොළඹ සහ මුම්බායි අතර ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාවේ 50% ක වැඩිවීමක් සිදුවනු අතර මුම්බායි සිට පැමිණෙන මගීන්ට ශ්‍රීලංකන් ගුවන් සේවාවේ ගුවන් ගමන් හරහා කොළඹ සිට සිංගප්පූරුව, ක්වාලාලම්පූර්, බැංකොක්, ලන්ඩන්, ෆ්රැන්ක්ෆර්ට්, පැරිස්, මෙල්බර්න් සහ සිඩ්නි ඇතුළු ඈත පෙරදිග, යුරෝපය සහ ඕස්ට්‍රේලියාවේ ගමනාන්ත වෙත පහසුවෙන් ලඟාවීමට අවස්ථාව හිමි වේ.

“ඉන්දියාවේ සංචාරක වෙළෙඳපොළ ආරම්භයේ සිටම ශ්‍රීලංකන් ගුවන් සේවයට ඉතා වැදගත් වූ අතර, ඉන්දියාව ලෝකයේ විශාලතම සංචාරක සේවා වෙළඳපොළක් ලෙස මතුවෙමින් පවතින මෙවන් මොහොතක, මුම්බායි සහ කොළඹ අතර අපගේ ගුවන් මෙහෙයුම් පුළුල් කිරීමට හැකි වීම පිළිබඳව අපි සතුටු වෙනවා. ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියානු සංචාරකයන් සඳහා නොමිලේ වීසා ලබා දීම ක්‍රියාත්මක වීම සහ අපගේ ගුවන් මෙහෙයුම් පුළුල් කිරීමත් සමඟ ශ්‍රී ලංකාව වෙත පැමිණීමට සංචාරකයින් දිරිමත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජාත්‍යන්තර විකුණුම් හා බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා පැවසී ය.

ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වනවිට ඉන්දියාවේ දිල්ලි, බැංගලෝර්, හයිද්‍රාබාද්, කොචි, මදුරෙයි සහ ත්‍රිවේන්ද්‍රම් යන නගර වෙතද ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි. මේ ආකාරයට ඉන්දියාව වෙත සතියකට ගුවන් ගමන් වාර 100 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරන ශ්‍රීලංකන් ගුවන් සේවය, එරට තුළ ක්‍රියාත්මක වන ප්‍රධානතම ජාත්‍යන්තර ගුවන් සේවාවක් ලෙස සැලකේ.

මෑතකදී ඉන්දියාවේ බැංගලෝර් හි පැවති දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී (SATA) ඇගයීමට ලක් වූ අතර එහිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය හා ‘ප්‍රමුඛතම ගුවන් සේවා පන්තිය – ව්‍යාපාරික පන්තිය’(Leading Airline Class – Business Class) ඇගයුම හිමිකර ගැනීමටද ශ්‍රීලංකන් ගුවන් සේවයට හැකියාව ලැබිණි.

වැඩිදුර තොරතුරු සඳහා සහ ගුවන් ප්‍රවේශපත්‍ර මිලදීගැනීම සඳහා www.srilankan.com වෙත පිවිසෙන්න.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT