Friday, May 9, 2025
Home » නෙදර්ලන්තය ආපසු දුන් ලාංකික පුරාවස්තු හෙට සිට බලන්න පුළුවන්

නෙදර්ලන්තය ආපසු දුන් ලාංකික පුරාවස්තු හෙට සිට බලන්න පුළුවන්

by chanaka
December 4, 2023 12:24 pm 0 comment

නෙදර්ලන්තය විසින් යළි මෙරටට ලබා දුන් සුවිශේෂී පෞරාණික වටිනාකමකින් යුත් කෞතුක භාණ්ඩ හය මහජනතාවට දැකබලා ගැනීමේ අවස්ථාවේ හෙට(05) සිට කොළඹ කෞතුකාගාරයේ දී හිමිවේ.

එසේම විශේෂ තැපැල් සමරු මුද්දරයක් ද මේ වෙනුවෙන් එළිදැක්වේ.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා කියා සිටියේ මෙම කෞතුක භාණ්ඩ ජනතා ප්‍රදර්ශනය සදහා විවෘත කරන හෙට දවසේ උත්සව අවස්ථාව සදහා නෙදර්ලන්ත විශේෂ රාජතාන්ත්‍රිකයින් පිරිසක් ද සහභාගී වන බවයි.

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පවත්නා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගැනීමේ ප්‍රයත්නයක් ලෙස ශතවර්ෂ දෙකකට පමණ පෙර මෙරටින් රැගෙන ගොස් නෙදර්ලන්තයේ සුප්‍රසිද්ධ Rijks museum කෞතුකාගාරයෙහි තැන්පත් කර තිබූ සුවිශේෂී පෞරාණික වටිනාකමකින් යුත් කෞතුක භාණ්ඩ හයක්, නැවත මෙරටට රැගෙන ඒමට කටයුතු සලස්වා තිබේ. මෙම වැඩසටහන රටවල් දෙක අතර රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වය වර්ධනය කෙරෙන අවස්ථාවක් වනු ඇත.

නෙදර්ලන්තයේ Rijks museum කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ මෙම කෞතුක භාණ්ඩ පරීක්ෂාවට ලක්කිරීමේදී, දෙරට අතර අන්‍යොන්‍ය සම්බන්ධතාවන්හි නව මානයක් අනාවරණය කරන කරුණු රාශියක් හෙළි කරගැනීමට හැකි විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, කන්ද උඩරට රාජධානියේ තිබී නෙදර්ලන්තය වෙත ගෙන යන ලද දුර්ලභ පුරාවස්තු 6 ක් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාව ලැබිණි.

මෙම පුරාවස්තු අතරට රන් හා රිදී කස්තාන දෙකක්, රන් පිහියක්, මහ තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාව සතුව පැවති කාලතුවක්කුවක් ඇතුළත් වේ.

1765 වසරේදී කන්ද උඩරට රජ මාලිගය අල්ලා ගැනීමෙන් අනතුරුව, එහි තිබූ මෙම භාණ්ඩ ලන්දේසි පෙරදිග ඉන්දියා සමාගම විසින් එරටට රැගෙන යන ලදි. මෙම පුරාවස්තු 2023 දෙසැම්බර් 05 වන දින සිට කොළඹ ජාතික කෞතුකාගාරයේදී දැකබලා ගැනීමට මහජනතාවට අවස්ථාව ලැබෙනු ඇත.

මෙම පුරාවස්තු නැවත ගෙන්වාගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වූයේ, 2022 අප්‍රේල් මාසයේදී මෙම පුරාවස්තුවල සම්භවය සම්බන්ධයෙන් සිදුකරන ලද ජාත්‍යන්තර සහයෝගීතා පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙනි. මෙම පර්යේෂණය මගින් ඒවා ශ්‍රී ලාංකික සම්හවයක් සහිත පුරාවස්තු බව තහවුරු විය. එම පුරාවස්තු සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් කරන ලද රාජ්‍ය තාන්ත්‍රික ඉල්ලීම, ඒවා නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා අතිශයින් වැදගත් විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සනුජා කස්තුරිආරච්චි මහත්මිය පැවසුවේ, සංස්කෘතික උරුමය රැකගනිමින් දැනුම හුවමාරු කරගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව කෙතරම් වැදගත්ද යන්න මින් පැහැදිලි වන බවයි.

‘Pilot Project Provenance Research on Objects of the Colonial Era’ (PPROCE) විසින් සිදුකරන ලද මෙම පර්යේෂණය, සම්භව අධ්‍යයනය විෂය සම්බන්ධ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ. මෙම පුරාවස්තු නැවත භාරදීම සහ, ඒ ඔස්සේ නෙදර්ලන්තයේ සහ ශ්‍රී ලංකාව අතර ඇති වූ සංස්කෘතික සහයෝගීතාව, අනාගත හවුල්කාරීත්වයන් සහ ශ්‍රී ලාංකීය පුරාවස්තු නැවත මෙරටට ලබා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධ වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT