Home » පාසල් ළමුන්ට පාවහන් තිළිණපත් ප්‍රදානය ඇරඹෙයි

පාසල් ළමුන්ට පාවහන් තිළිණපත් ප්‍රදානය ඇරඹෙයි

by chanaka
December 4, 2023 2:22 pm 0 comment

පාසල් දරුවන්ට පෙළපොත්, නිල ඇඳුම්, දිවා ආහාර සහ පාවහන් ලබාදීම දරුවන් වෙනුවෙන් හඳුනාගත් ප්‍රමුඛතා අතර පවතින බවත්, ඇතැම් පාර්ශව විසින් ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමේ ඉල්ලීම් සිදුකරන අතර ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට තමා යෝජනා කර ඇති බවත්, එහෙත් ඒ වෙනුවෙන් ප්‍රමුඛතාව දෙන්නේ නම් පවත්නා ආර්ථික වාතාවරණය හමුවේ දරුවන් වෙනුවෙන් හඳුනාගත් ප්‍රමුඛතා ඉටුකිරීමට අසීරු වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් දැක්වූයේ, මෝදර ශාන්ත ජෝන් විද්‍යාලයේ අද(04) පැවති පාසල් පාවහන් තිළිණපත් බෙදාදීමේ නිල උත්සවය‍ට එක්වෙමිනි.

එළඹෙන පෙබරවාරි මස 19 වන දින 2024 නව පාසල් වාරය ආරම්භ කෙරෙන බවත් ඊට පෙර සිසු දරුවන්ට නිල ඇඳුම්, පෙළපොත් සහ තෝරාගත් පාසල් මෙන්ම පිරිවෙන් සිසුන් වෙත පාවහන් ලබාදී අවසන් කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම දෙසැම්බර් මස 22 වැනිදා පාසල් නිවාඩුව ලබාදුන් පසු නැවත පෙබරවාරි මස 02වැනිදා සියලු‍ පාසල් ඇරඹෙන අතර මෙරට සිසුදරුවන්ගේ පාසල් පැමිණීම අඛණ්ඩව හා සක්‍රීයව පවත්වා ගෙනයාම වෙනුවෙන් ආර්ථික අභියෝග රැසක් මධ්‍යයේ වුව ද රජය අධ්‍යාපනයට ප්‍රමුඛස්ථානය දෙමින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

දිවයිනේ දුෂ්කර, අතිදුෂ්කර සහ හුදකලා ප්‍රදේශවල පිහිටි පාසල් සහ තෝරාගත් පිරිවෙන්වල භික්ෂුන් වහන්සේලා, සිල් මාතාවන් සහ සිසු දරුදැරියන් 747,093ක් වෙනුවෙන් මෙවර පාවහන් තිළිණපත් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ. මේ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 2,200කි. මෙවර පාසල් පාවහන් තිළිණ පතක වටිනාකම රුපියල් 3000 කි. තිළිණපත් සඳහා පාවහන් අලෙවිකිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචිය ලත් වෙළඳසැල් වෙතින් සිසුන්ට පාවහන් ලබාගැනීමට අවස්ථාව සලසා තිබේ. මේ සම්බන්ධව දෙමව්පියන් සහ සිසුන් දැනුම්වත් කිරීම වෙනුවෙන් අදාළ උපදෙස් පළාත්, කලාප හා කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර ඇති අතර, මීට අදාළ චක්‍රලේඛයක් ද පාසල් වෙත නිකුත් කර ඇත.

එළඹෙන වසරේ දී පාවහන් තිළිණපත් ලබාදෙන සිසුන් සංඛ්‍යාව ලක්ෂ 10ක් දක්වා වැඩි කිරීමට තමා අපේක්ෂා කරන බව ද සඳහන් කළ අමාත්‍යවරයා, අපේ රට පමණක් නොව ලොව බොහෝ රටවල් අභියෝග රැසකට මුහුණ දී සිටින මෙවන් සමයක රජයක් වශයෙන් ප්‍රමුඛතා හඳුනාගනිමින් කටයුතු කරන්නට සිදුව ඇති බව ද අවධාරණය කළේය.

මේ අවස්ථාවට අධ්‍යාපන ලේකම් එම් එන් රණසිංහ මහතා, බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ ජී නිමල් ජයවීර මහතා, මෝදර ශාන්ත ජෝන් විද්‍යාලයේ විදුහල්පතිනි ඩබ්.පී ආර් රාජරත්න මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT