අපේ ගොවි බිම් ට්‍රැක්ටරය විසින් ආක්‍රමණය කරන කල්හි මීමා සතුන් වත්තටත්, නගුල කටුගෙයටත් යැවිය යුතු යයි ජේම්ස් මූමා නම් විදේශීය විශේෂඥයා නිර්දේශ කළේය. මීමා දැන් මස් කඩේ කොක්කේ එල්ලී සිටින්නේය. සිංහල නගුල කෞතුකාගාරයේ අතීත කෘෂිකර්මාන්තය සඳහා වන අංගෝපාංග අංශයේ රාක්කයේ ඇත්තේය.
ගව ඝාතනය යනු ආගමික වටපිටාව, පෝෂණය සහ පෙරේතකම යන තුන් පැත්ත විසින් විටින් විට වටලනු ලබන මාතෘකාවකි.
ගව මස් කන්ටේනර් 03ක් පමණ සතියකට උතුරු මැද පළාතෙන් වෙනත් පළාත්වලට හොරාට යන බව කියන්නේ ආණ්ඩුකාර මහීපාල හේරත්ය. දිස්ත්‍රික්කයෙන් පිට හරක් මස් ගෙන යෑම තහනම් වුවත්, කන්ටේනර් තුනක් පුරවා හැම සතියකම බඩු යන්නේය. බානෙන් බැඳ රජරට පෙදෙසින් එදා හරක් ගෙන ගිය කාලය නිමවා, දැන් බඩු යන්නේ ‘ෆිනිෂින් ප්‍රොඩක්ට්’ එකක් ලෙසය.
උතුරු මැද පළාතේ ගව සම්පත මෙසේ කිලෝ ග්‍රෑම් ගාණට කුට්ටි වී යන්නේ, ඒ ගවයෝ කිරි වරා ඇති හෙයින් හෝ වයෝවෘද්ධභාවය සඳහා ළඟා වී ඇති හෙයින් නොවේ. මස් හිඟය සමඟ ඇති වී තිබෙන අනම්‍ය ඉල්ලුම කරණ කොට ගෙනය. 1890 වසරේදී ආර්ථික විද්‍යාඥ ඇල්ෆ්‍රඩ් මාෂල් ‘ආර්ථික විද්‍යාවේ මූලධර්ම’ නම් පොත පළ කළේය. නම්‍යතාවය පිළිබඳ සංකල්පය ආර්ථික විද්‍යාවට එක් කරන්නේ ඒ පොතෙන්ය. ඔය තියරිය වර්ධනය වී අනම්‍ය ඉල්ලුමක් නම් සංකල්පය ඇති වන්නේය. දිගින් දිගටම භාණ්ඩයක් සඳහා ඉල්ලුම වැඩිවන සඳ, එහි මිල ඉහළ යන්නේය. එම භාණ්ඩය නිපදවීම සඳහා නිෂ්පාදකයෝ වැඩි වැඩියෙන් උත්සාහ ගන්නාහ.
හරකා ගහේ හැදෙන්නේ නැති හෙයින් කන්නයකින් දෙකකකින් ඌ ‘කඩා ගත’ නොහේ. මසටම සහ කිරට හරක් ඇති කිරීම මහා පරිමාණයෙන් කරන්නේ සමාගම් කිහිපයක් පමණය. කිරි ගොවි නිවෙසක වැඩිම වුණොත් සිටින්නේ හරක් හතළිහක් පමණය. එවැනි පසුබිමක අනම්‍ය හරක් ඉල්ලුම සපුරාලීම සඳහා ඇත්තේ ‘රජරට කන්ටේනර් ක්‍රමය’ පමණය.
උදේට කිරි බෝතල් දහයක් පහළොවක් දුන් සතා, අහල පහල දිගේලි කර යන ගොවියාට, හැන්දෑවට දකින්නට ලැබෙන්නේ, ඌ ගැට ගසන ලද කඹයේ කොටය පමණය. එදා ගොපලු කොලුවන් හරක් රෑනක් බලා කියාගෙන, බටලී වාදනයක් ද සිදු කරමින්, හරක් මුර කරන ලද්දේය. ඒ කොටි හපුවාගෙන් සත්තු රැක ගැනීමට සහ සතා කැලයේ අතරමං වීම නවතා ගන්නටය. අද නම් ‘එක් හරකාට – එක් ගොපල්ලෙක්’ ඕනෑ වන තරමට, ක්‍රයිසිස් එක ප්‍රබලය.
අනුරාධපුරය සහ පොලොන්නරුව දිස්ත්‍රික් දෙක, දියර කිරි බහුලව නිෂ්පාදනය කරන්නේය. රටේ කිරි සඳහා ඇති ඉල්ලුම ද අනම්‍ය හෙයින් හිඟ ප්‍රමාණය ගෙන්වන්නේ එතෙරින්ය. වසරකට කිරි ගෙන ඒම සඳහා අප එතෙරට ගෙවන මුදල, එක්සත් ජනපද ඩොලර් මිලියන හයසියය පන්නන්නේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීර්ණ ණය පහසුකම යටතේ තවම ශ්‍රී ලංකාවට ලබාදී ඇත්තේ ඩොලර් මිලියන හයසිය හැටකි. ඒ පැත්තෙන් අරගත්ත ගමන්ම, මේ පැත්තෙන් කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන ගෙන්වා ගැනීම සඳහා අප ඒ මුදල යොමු කළා කියන්නේ ආයෙත් ‘බැලන්ස් ෂීට් එක සීරෝය’.
උතුරු මැද පළාතේ කකුල් හතරේ හරක් 275,000ක් පමණ සිටිති. වසරකට මේ ගව සම්පත, පැටවු ලක්ෂයක් පමණ බිහි කරන්නාහ. එහෙම පැටවු හම්බ වුණත්, ගව සම්පතේ කිසිදු වැඩිවීමක් නැත. වසරකට 75,000ක් පමණ ගවයන්ගේ ගෙල, පිහියේ මුවහත සිඳගන්නා හෙයින්, හැමදාම ගව ගහනය, එක සීමාවේ සිටින්නේය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ 27ක්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ 05ක් ලෙස උතුරු මැද පමණක් ගව ඝාතකාගාර 32ක් ඇති බව ආණ්ඩුකාර මහීපාල හේරත් පවසා තිබුණි. හරකෙක් මසට ගත හැකි ආකාර තිබේ. කිරිදෙන එකා හෝ වැඩකට ගත හැකි සතා, මස් කඩේට දැක්විය නොහැක. හරක් මස යනු එළ හරකාගේ මාංශ පේශි ඇතුළු අවයව වුවද, මීහරක් මස් ද ‘එළ හරකා වෙළඳ නාමය ඔස්සේ’ පිඟානට එන්නේය. මේ හරක් නොමරන්නේ කුළු හරක් පමණය. මේ ආකාරයට ඉල්ලුම අනම්‍ය වන්නේ නම් කැලේට පැන කුළු හරක් දඩයමට ද ‘සමහරක්’ පුරුදු වෙනවා ඇත.
හරක් සම්බන්ධයෙන් හැමදාම කතාබහ වන්නේය. එතෙරින් කිරි ගෙන ඒම නවත්වා ගැනීම සඳහා හැම ආණ්ඩුවක්ම වෑයම් කරන්නේය. මේ ආකාරයට කිරි දෙන සතා, කොක්කේ එල්ලීම සාමාන්‍යකරණය වේ නම්, මීමා වනාහි ෆොටෝ එකෙන් සහ කටු ගෙයින් පමණක් තව වසර පහක් යන විට බලා ගත හැකි තත්ත්වයක් උදාවෙනවා ඇත.
ලංකාවේ පශු සම්පත් අංශ මූමා ගේ උපදෙස් පිළිපැද ඇත්තේ අකුරටමය. සිංහල තාලයට හැදුණු බටු හරකා ගේ කිරි නිෂ්පාදන හැකියාව මඳ බවට ඔවුන් කළ තක්සේරුව නිසා දෙමහුන් කිරි හරක් වැඩ පිළිවෙළ ව්‍යාප්ත විය. කේප්ප හරක් ලංකාවට ආනයනය කෙරුණි. අෙමරිකන් පට්ටි ගොනුන් ලංකාවට ආනයනය කිරීම ආරම්භ කරන ලද්දේ නවසිය විස්ස දශකයේ දීය.
ඔය ආකාරයට දිගටම කරගෙන ගියද තවමත් අපට කිරි ඉතිරී නැත්තේය. ඉන්න හරක් ටික ද ‘දිගටම කොක්කේ’ යයි නම්, වැඩේ ‘එළ කිරි’ වනු ඇත්තේ, අපට කිරි පොවනා රටවලටය.