පුරාවස්තු සහ පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන ආශ්‍රිතව සිදුවන විවිධ හානි කිරීම්, ඒවාට ඇති වටිනාකම් නොතකා කටයුතු කිරීම පිළිබඳව නැවතත් සමජය තුළ කතාබහක් ඇතිව තිබේ. එයට ආසන්නම හා ප්‍රධානම හේතුව බවට පත්ව තිබෙන්නේ, අවුකන පිළිම වහන්සේ සම්බන්ධ කාරණාවයි. ඒ ආදී කරුණු කාරණා පිළිබඳව පුරාවිද්‍යා චක්‍රවර්ති, ආචාර්ය එල්ලාවල මේධානන්ද හිමි සමඟ කළ සංවාදයයි මේ.
අනුවණ පිරිස් ජාතික උරුමයන් විනාශ කිරීම ගැන කනගාටුයි
ඉතිහාසය සහ ජාතික උරුමයන් පිළිබඳ දරුවන්ට ඉගැන්විය යුතුයි
තවත් පුරාවිද්‍යාත්මක ස්ථාන රැසක් උතුරු නැඟෙනහිර තිබෙනවා
පුරාවස්තු විකෘති කිරීම, ඒවාට හානි කිරීම සහ පෞරාණික පිළිම වහන්සේලාගේ ගෞරවයට හානිදායක ආකාරයේ සිදුවීම් රැසක් පසුගිය කාලය පුරා වාර්තා වුණා. ඒ අතරින් අවුකන පිළිමයට සිවුරක් පෙරවීම එහි අලුත්ම සිදුවීමයි. මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ අදහස කුමක්ද?
පසුගිය කාලයේදී පුරාවස්තු පිළිබඳව ඒවා විනාශ කිරීම, ඒවා විකෘති කිරීම වගේ විවිධ ආකාරයේ සිදුවීම් වාර්තා වුණා. ඇත්තෙන්ම අපේ රට ලෝකයේම අවධානය දිනාගත් පැරැණි ජාතික සහ සංස්කෘතික උරුමයක් තිබෙන රටක්. මේ විදිහේ වටිනා ජාතික සම්පත් විකෘති කිරීම වගේම ඒවා හාස්‍යයට ලක්වන විදිහේ කටයුතුවල නියැළීම පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වීම වගේම මේ වගේ දේවල් ගැන තදින් නීතිය ක්‍රියාත්මක කිරීම ද සිදු විය යුතුයි.
අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ අපේ රටට විතරක් නොවෙයි මුළු ලෝකයම පිළිගන්නා ලෝකය සතු දෙයක්. එවැනි දෙයකට හානි වන තැනට කටයුතු කිරීම වගේම විසුළුවට ලක්කිරීමද නොවිය යුතු දෙයක් විදිහටයි හඳුන්වන්න පුළුවන්.
ඇත්තෙන්ම අවුකන පිළිම වහන්සේ කියන්නේ ඉතාමත් සියුම් විදිහට කළ නිර්මාණයක් විදිහටයි සඳහන් කරන්න පුළුවන්කම තිබෙන්නේ. එවැනි සියුම් කලා නිර්මාණයක් නිරුවතින් යැයි සිතා සිවුරක් පෙරවීම සිදු කරන්න තරම් අද අපේ මිනිසුන් නූගතුන් පිරිසක් බවට පත්වීම කනගාටුවට කරුණක් විදිහටයි සඳහන් කළ හැක්කේ. එදා මේ පිළිමය නිර්මාණය කළ කලාකරුවා මේ පිළිමය නෙළනකොට කළු ගලේ සියුම් විදිහට සිවුර නිර්මාණය කළා. එවැනි අගනා නිර්මාණයක් කිරීමට එදා සිටි කලාකරුවාට තිබූ බුද්ධියෙන් අල්පයක් හෝ අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් ඇන්ද වූ පුද්ගලයාට තිබුණා ද කියන එක ගැටලුවක්. මේ විදිහේ අනුවණ පිරිස් අද ජාතික උරුමයන් පුරාවස්තු විනාශ කිරීමට වගේම ඒවා හෑල්ලුවට ලක් කරන්න වගේම මේවා වනසා දැමීමට වැඩ කරනවා.
ඇත්තෙන්ම මෙවැනි තත්ත්වයක් අපේ රටේ ඇති වීමට හේතු විදිහට ඔබ වහන්සේ දකින්නේ කුමක්ද?
හැත්තෑව දශකයෙන් පසු නව අධ්‍යාපන
ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙනු ලැබුවා. ඒ ක්‍රමය තුළ ඉතිහාසය කියන විෂය අයින් කර සමාජ අධ්‍යයනය කියන අච්චාරු විෂයක් ඇති කළා. එහි ප්‍රතිඵලය වුණේ ඉතිහාසය ගැන ජාතික උරුමයන් ගැන නොදන්නා හිස් මිනිසුන් පිරිසක් බිහි වීමයි. අද අපි අත්විඳිමින් සිටින්නේ එහි ප්‍රතිඵල කියල සඳහන් කිරීමේ වරදක් නැහැ. එදා අපේ දරුවන් අද වැඩිහිටියන් වෙලා. ඔවුන්ට එදා පාසල් පද්ධතිය තුළින් ඉතිහාසය කුමක්ද එහි වටිනාකම කෙතෙක්ද කියන අවබෝධය ලබා දුන්නා නම්, අද මීට වඩා ඒ ගැන අවබෝධයක් තිබෙන පිරිසක් බිහි වෙන්න ඉඩ තිබුණා.
අපේ රටට සමාගාමීව වෙනත් රටවල ඉතිහාසය සහ ජාතික උරුමයන් පිළිබඳ තිබෙන අවබෝධය කෙතෙක් දුරට තිබෙනවාද?
කුඩා පාසල් දරුවාගේ පටන්ම ඉතිහාසය පිළිබඳ වෙනත් රටවල උගන්වනවා. අපත් දැන් හෝ දරුවන් ඉතිහාසය සහ ජාතික උරුමයන් පිළිබඳ අවබෝධය ලබා දීම ආරම්භ කළ යුතුයි.
අපේ රටේ පුරාවස්තු සහ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන දහස් ගණනක් තිබුණත්, එම ස්ථාන හඳුනා ගැනීමේ දුර්වලතාවක් තිබෙනවා නේද?
ඔව්. මගෙන් ගවේෂණවලට අනුව මා හඳුනාගත් පුරාවිද්‍යාත්මක ස්ථානවලින් සියයට දහයක් පමණයි බලධාරීන් විසින් පුරාවිද්‍යා භූමි විදිහට නම් කර තිබෙන්නේ. මෙවැනි ස්ථාන රැසක් උතුරු නැඟෙනහිර ඇතුළු සෙසු ප්‍රදේශවල තිබෙනවා.
පුරාවස්තු කෙෙලසීම පිළිබඳව නීති ක්‍රියාත්මක වෙනවාද? නොවෙනවා නම් ඊට හේතු මොනවාද?
පුරාවිද්‍යාත්මක භූමි අපි ඉතාමත් හොඳින් රැක ගත යුතුයි. එහෙත්, ඒ පිළිබඳ අද නිසි විදිහට නීති ක්‍රියාත්මක වෙනවාද කියන එක ප්‍රශ්නයක්. ඇත්තෙන්ම අවුකන පිළිම වහන්සේට සිදු කළ අපහාසයට පුරාවිද්‍යා නීතිය අනුව දැඩි දඩුවම් කළ හැකියි. මෙවැනි දේ වැළැක්වීම සඳහා හැකි උපරිම දඬුවම් ලබා දෙන්න ඕනෑ. එහෙම කළොත් අනාගතයේදී මෙවැනි දේවල් නැවත සිදු කිරීමට මිනිස්සු බය වෙයි. ඒ නිසා මම සියලු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ පුරාවස්තු, පුරාවිද්‍යා බිම්වලට හානි කරන, විනාශ කරන, අපහාස කරන සියලු දෙනාට දැඩි දඬුවම් පමුණුවන ලෙසයි.
ඔබ වහන්සේ එසේ සඳහන් කළත් ඇතැම් තැන්වල පුරාවස්තු විනාශ වීමට විවිධ ආගමික සහ ජාතික කරුණු බලපා ඇති බවට අදහස් පළ වෙනවා. මේ ගැන ඔබ වහන්සේට තිබෙනේනේ මොන වගේ අදහසක්ද?
අපේ රටේ තිබෙන්නේ ජාතීන්, ආගම් අනුව වෙන් කළ හැකි පුරාවස්තු නොවෙයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියල්ලන්ටම පොදු ජාතික පුරාවස්තු තිබෙන්නේ, එදා පොලොන්නරුව රාජධානිය ආක්‍රමණය කළ ආක්‍රමණකාරීන් කෝවිල් ඉදි කළා. ඔවුන් පොලොන්නරුව අතහැර පලා ගියත් ඔවුන් ඉදි කළ කෝවිල් අදත් පුරාවිද්‍යාත්මක වැදගත්කම් සහිතව ඉතාමත් සුරක්ෂිතව තිබෙනවා. පෞරාණික ස්ථාන කුමන ආගමකට අයත් වුණත් එහි තිබෙන පෞරාණික වටිනාකම පුරාවිද්‍යාත්මක අගය ඉතාමත් ඉහළයි. ඒ නිසා අප අපේ රටේ තිබෙන සියලු පුරාවිද්‍යා වටිනාකම් ඇති ස්ථාන සුරක්ෂිත කළ යුතුයි. ඒ සඳහා නීති අවශ්‍ය නම් නීති අලුතින් හෝ ඇති කළ යුතුයි. එහෙම වුණොත් තමයි අපට අපේ රටේ උරුමය ආරක්ෂා කර ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ.
රජයට සහ විෂය අනුබද්ධ බලධාරීන් වෙත වගකීමක් තිබුණාද? ඒ වගකීම් නිසි විදිහට ඉටු නොවන බවට ඇතැමුන් චෝදනා එල්ල කරනවා?
රජයට විතරක් වගකීම පවරා මහජනතාව වන අපට අත පිසදමා ගැනීමට බැහැ. රජය, නිලධාරීන් පමණක් නොවෙයි, මහජනතාවටත් විශාල වගකීමක් තිබෙනවා. ඒ නිසා අප අපගේ මේ වගකීම කුමක්ද කියා තේරුම් ගෙන වැඩ කළ යුතුයි. අපි දැන්වත් පාසල් පද්ධතියෙන් මෙම නව වැඩපිළිවෙළ ආරම්භ කළ යුතුයි. එසේ නව වැඩපිළිවෙළ ආරම්භ කළ පසු අපට ජාතික උරුමයන් පිළිබඳව නව උනන්දුවක් ඇති වීම සිදු වෙනවා.
පාසල් විෂය පද්ධතියට ජාතික උරුමයන් පිළිබඳව ඇතුළත් කිරීම මඟින් අපේ අධ්‍යාපන පද්ධතිය නව මඟකට යොමු කළ හැකියි නේද?
ඇත්තෙන්ම පාසල තුළින් අපට අලුත් ආරම්භයක් ලබා ගන්න හැකියාව තිබෙනවා. එහෙත් මේ ගැන ලබා දෙන අවධානය ප්‍රමාණවත්ද කියන දේ සලකා බැලිය යුතුයි. පාසල් පද්ධතිය තුළින් මෙවැනි හොඳ දේවල් ක්‍රියාත්මක කළ හැකි වුවද ඒ සඳහා උනන්දුව දක්වන බලධාරීන් සිටිනවාද කියන දේ ගැන විමසිලිමත් වෙන්න ඕනෑ. මම එක් උදාහරණයක් පෙන්වා දෙන්නම්. මම වරක් හිටපු අධ්‍යාපන ඇමැතිවරයකුට කතා කළා මම සඳහන් කළා, අපි ළමයින්ගේ දැනුම වැඩි කරන්න, ඔළු හදන්න දේශන මාලාවක් කරමු කියලා. එතැනදී හිටපු අධ්‍යාපන ඇමැතිවරයා කිව්වා, හාමුදුරුවනේ, ඕවා කරදර වැඩ කියලා. අපේ බලධාරීන් ඉතිහාසය ගැන හිතන්නේ ඔය විදිහටයි. ඉතින් ඔය වගේ පිරිසක් එක්ක පාසල් පද්ධතියට ඉතිහාසය ගැන ජාතික උරුමය ගැන කියා දෙන්නේ කොහොමද කියන එක ලොකු ගැටලුවක්. ඇත්තෙන්ම අපේ බලධාරීන්ට අපේ අධ්‍යාපනය පිළිබඳව උනන්දුව මීට වඩා තිබුණා නම් අධ්‍යාපනය තුළින් පවා මෙවැනි වැදගත් දේවල් සිදු කිරීමට හැකියාව තිබෙනවා.
ඔබ වහන්සේ කියන්නේ පුරාවස්තු සුරැකීම සඳහා අලුතින් හෝ නීති පැනවිය යුතු බවද?
අලුත් ඉදි කිරීමක් විනාශ කළොත් අපට වන්දි අරන් නැවතත් ඒ ඉදිකිරීම තිබුණාටත් වඩා හොඳ විදිහට ඉදි කරන්න පුළුවන්. ඒත්, පුරාවිද්‍යා වටිනාකමක් තිබෙන දෙයක් විනාශ කළොත්, ඒ පුරාවස්තුවට කෙතරම් ලොකු වන්දියක් ගත්තත් නැවත පෙර තිබූ තත්ත්වයට පත් කරන්න බෑ. ඒ නිසා පුරාවස්තු පුරාවිද්‍යා බිම් සුරැකීමට අලුතින් හෝ නීති ගේන්න ඕනෑ. ඒ අනුව සලකා බැලූ විට වසර දහස් ගණනක් සුරැකිව තිබ්බ පුරාවස්තු වර්තමානයේ දී සංවිධානාත්මකව හෝ වෙනත් අරමුණකින් විනාශ කරනවා නම්, ඒක වළක්වා ගන්න ඕනෑ. එතැනදී තිබෙන නීති ප්‍රමාණවත් නැතිනම් අලුතින් නීති හදල හරි වැරදිකරුවන්ට දඬුවම් කළ යුතුයි. අද පොඩි වැරදිවලට දඬුවම් ලැබුණත් බලවත් කෙනෙක් වරදක් කළොත් ඒ වරද සඟවන ස්වභාවයක් තිබෙනවා. ඒ නිසා පුරාවස්තු හා පුරාවිද්‍යා භූමි විනාශ කරන පිරිස් හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
විනාශ කිරීම පමණක් ද වැරදි?
නැහැ, අවුකනදී වුණා වගේ දේවලට පුරාවස්තු, පුරාණ පිළිම යොදා ගන්නවා නම් ඒක ලොකු වරදක්. එවැනි වැරදි කරන පිරිස් සොයා අවශ්‍ය පියවර ගන්න ඕනෑ. එහෙම නොකළොත් මේ වගේ සිදුවීම් නැවත නැවතත් සිදු වෙන්න ඉඩ තිබෙනවා.
ප්‍රතිමාවලට සිවුරු පෙරවීම, පූජා කිරීම වැනි දේ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස මොකක්ද?
ඇත්තෙන්ම මේ වගේ දේවල් හරවත් දේවල් හෝ බුදුදහම නොවෙයි. මේ වගේ දේවල්වලින් බුදුදහමේ අරමුණු සහ පුරාවිද්‍යාත්මක බව යන දෙකම විනාශ වෙනවා.
පුරාවස්තු, ජාතික උරුමයන් පිළිබඳ ජනතාව තුළ දැනුවත්භාවයක් තිබෙන්න ඕනෑ. ඒත්, අදවන විට ඒ දැනුවත් භාවය තිබෙනවාද යන්න ගැටලුවක් නොවන්නේද?
අනිවාර්යයෙන්ම ජනතාව දැනුවත් වීම් විය යුතුයි. එහෙත්, ඒ දැනුවත් කිරීම් සිදු කරන්නේ කොහොමද කියන කරුණ සලකා බැලිය යුතුයි. එතැනදී ජනතාව දැනුවත් කිරීම සිදු කිරීම පිළිබඳ ලොකුම වගකීම තිබෙන්නේ මෙරට ජනමාධ්‍ය ආයතනවලට, එහෙත් අද මේ ආයතන තමන්ගේ වගකීම නිසි විදිහට ඉටු කරනවාද කියන දේ සලකා බැලිය යුතුයි. එදා පුවත්පත්, වගේම විද්‍යුත් මාධ්‍ය ආයතන පුරාවස්තු පිළිබඳ ඓතිහාසික උරුමයන් පිළිබඳ ලොකු දැනුවත් කිරීමක් කළා. ඒත්, අද ඒ තත්ත්වය වෙනස් වෙලා. එදා මාත් මේ දැනුවත් කිරීම්වලට මාධ්‍ය ඔස්සේ දායකත්වය ලබා දුන්නා. එහෙත් අද එවැනි අවස්ථා අඩුයි. මුද්‍රිත මාධ්‍ය තුළ පවා අද මේ වගේ දේවල් කතා බහ කෙරෙනවා අඩුයි. ඒ නිසා මම ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා පුරාවස්තු, ජාතික උරුමය වගේ වැදගත් විෂය දැනුවත් කිරීම් සඳහා මාධ්‍ය ඔස්සේ වැඩි ඉඩක් ලබා දෙන්න කියලා. එහෙම වුණොත් අපේ ජාතික උරුම පිළිබඳ මහජන අවධානය වැඩියෙන් යොමු කර ගැනීමට හැකියාව ලැබේවි.
අපේ පුරාවිද්‍යා උරුමය, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීමට පුළුවන් නේද?
අනිවාර්යයෙන්ම පුළුවන්. අපට අපේ සැඟවුණු පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන වෙත ලෝක සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරන්න පුළුවන්. පුරාවස්තු, ඓතිහාසික ස්ථාන පිළිබඳ දැඩි කැමැත්තක් දක්වන සංචාරකයන් ඉන්නවා. ඔවුන් පෙරදිග උරුමයන් නැරඹීමට කැමැතියි. එවැනි දේ ඔස්සේ අපට සංචාරක කර්මාන්තය අලුත් මඟකට ගෙන එන්න පුළුවන්.
උදිත ගුණවර්ධන