Home » සැකකරුවන්ගේ මුහුණු හඳුනා ගැනීමට වීඩියෝ තාක්ෂණය පළමුවරට උසාවියට

සැකකරුවන්ගේ මුහුණු හඳුනා ගැනීමට වීඩියෝ තාක්ෂණය පළමුවරට උසාවියට

-මන්ත්‍රී අමරකීර්ති ඝාතන නඩුව

by sachintha
December 4, 2023 10:48 pm 0 comment

-උසාවියේ පුළුල් තිරයේ ප්‍රදර්ශනය කරමින් ඡායාරූප 108ක් ලකුණු කරයි

පොලොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල හා ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන් අහංගම විතානරලාගේ ජයන්ත ගුණවර්ධන ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගේ මුහුණු නිසැකවම හඳුනා ගැනීම සඳහා වීඩියෝ තාක්ෂණය භාවිත කිරීමට අවසර දෙන ලෙස නීතිපතිවරයා ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණයේ අවසර ඉල්ලා සිටියේය.

මෙම නඩුවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇති සීසීටීවී දර්ශනවල සිටින සැකකරුවන්ගේ මුහුණු හඳුනා ගැනීම සඳහා වීඩියෝ තාක්ෂණය යොදා ගැනීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා මෙම ඉල්ලීම කළේය. මෙහි දී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා නඩු විභාගය ආරම්භ කිරීමට පෙර වැඩිදුරටත් කරුණු දක්වමින් ලංකාවේ පළමු වතාවට වීඩියෝ දර්ශන අනුව මුහුණු හඳුනා ගැනීම සඳහා ඉදිරි දිනක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විශේෂඥ නිලධාරියකු ද සාක්ෂියට කැඳවන බව කියා සිටියේය.

පුද්ගල ඝාතන නඩුවක සැකකරුවන් හඳුනා ගැනීම සඳහා මෙලෙස වීඩියෝ තාක්ෂණය භාවිත කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව විසින් කටයුතු කළ පළමු අවස්ථාව මෙය වේ.

එම ඝාතන නඩුව ඉකුත් 01 වැනිදා විභාගයට කැඳවූ අවස්ථාවේ විත්තියේ නීතිඥ ශිරාණි දිසානායක මහත්මිය මතු කළ විරෝධතාවයක් ප්‍රතික්ෂේප කරමින් සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන විවෘත අධිකරණයේදී පුළුල් තිරයක ප්‍රදර්ශනය කිරීමට අවසර ලබා දෙමින් ගම්පහ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නඩු විභාගය ආරම්භ කරනු ලැබීය.

එම නඩුව ඉකුත් 01 වැනිදා පෙරවරු 10ට සහන් මාපා බණ්ඩාර (සභාපති), රස්මි සිංගප්පුලි හා ඩී. ඒ. රුවන් පතිරණ යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙහිදී ඇප මත මුදා හැර සිටින විත්තිකරුවන් තිස් හය දෙනෙකු අතරින් තිස් හතර දෙනෙක් අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ.

ඇප මත මුදා හැරීමෙන් අනතුරුව වෙනත් සිද්ධීන් සඳහා රිමාන්ඩ් භාරයේ රඳවා සිටින විත්තිකරුවෝ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

ඇප තබා ගැනීමට නොහැකි වී සිටින රාමයියා සත්‍ය කුමාර් නමැති විත්තිකරු ද බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේය.

නම් කරන ලද තවත් විත්තිකරුවන් දෙදෙනකු නොමැතිව ඔවුන් දෙදෙනා ඇතුළුව විත්තිකරුවන් තිස් නව දෙනෙකුට එරෙහිව නඩු විභාගය පැවැත්වේ.

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කරුණු දක්වමින් සිද්ධිය වූ ස්ථානය, සිතාරා මීමන නීතිඥ කාර්යාල, ශක්ති වයින් ස්ටෝර්ස් යන ස්ථානවල සීසීටීවී කැමරාවල සටහන් වී ඇති දර්ශන හා මාධ්‍යවේදියකුගේ ජංගම දුරකතනයක සටහන් වී ඇති සිද්ධිය වූ අවස්ථාව හා ඒ ආසන්න වේලාවල දර්ශන විවෘත අධිකරණයේදී විනාඩි දොළහයි තත්පර පනස් නමයක කාලයක් පුළුල් තිරයේ ප්‍රදර්ශනය කිරීමට අවසර ලබා දෙන ලෙසට ඉල්ලා සිටියේය.

මෙහිදී විත්තියේ නීතිඥ ශිරාණි දිසානායක මහත්මිය කරුණු දක්වමින් ඉල්ලීම පරිදි වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කළ හොත් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 198 (1) වගන්තිය ප්‍රකාරව අධිකරණ මනස නොමඟ යැවීමට උත්සාහයක් ගන්නා බැවින් එයට විරුද්ධත්වය ප්‍රකාශ කරන බව කියා සිටියාය.

විත්තියේ නීතිඥ ප්‍රදීප් පෙරේරා මහතා කරුණු දක්වමින් වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව කියා සිටියේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා :-

එම නීතිඥ මහතා අධිකරණය ඉදිරියේ පෙනී නොසිටින විත්තිකරුවකු වෙනුවෙන් නේද පෙනී සිටින්නේ.

මෙහිදී දෙපාර්ශ්වයේ කරණු දැක්වීම්වලින් අනතුරුව මහාධිකරණ විනිසුරු මඬුල්ල විත්තියේ විරෝධතා ප්‍රතික්ෂේප කරමින් වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කිරීමට අවසර ලබා දීමෙන් අනතුරුව නිට්ටඹුව නගරයේ සිද්ධිය වූ ස්ථානය හා අවට ප්‍රදේශයන්හි වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කරනු ලැබීය.

වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව ගම්පහ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ එවකට ස්ථානාධිපතිවරයා වශයෙන් රාජකාරියේ නියැළී සිටි වවුනියාව වත්මන් අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ඒ. ඇන්. ඩී. කොල්ලුරේ මහතා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දෙමින් මෙසේ කියා සිටියේය.

මම වර්තමානයේ වවුනියාව අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපතිවරයා වශයෙන් රාජකාරි කරනවා.

2022.05.09 වනදා වන විට මම රාජකාරියේ යෙදී සිටියේ ගම්පහ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපතිවරයා වශයෙනුයි. එදින නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේරත්න මහතාගෙන් ලැබුණු පණිවුඩයකට අනුව මම පස්වරු 22.20ට නිට්ටඹුව නගරයට ගියා. මම ගියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සිල්වා, උප පොලිස් පරීක්ෂක වික්‍රමාරච්චි හා පොලිස් සැරයන් රත්නායක යන නිලධාරීන් ද සමඟයි.

අපි අපරාධ ස්ථානයට පරීක්ෂණයට අදාළ උපකරණ කට්ටලයක්, විදුලි පන්දම් හා ඩිජිටල් කැමරා රැගෙන ගියා. අපි 22.20ට නිට්ටඹුව නිහාල් ෆැෂන් ආයතනය ඉදිරිපිටට ගියා. ඒ අවස්ථාවේ නිට්ටඹුව පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් පිරිසක් ද එම ස්ථානයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටියා. එම ආයතනයේ ඇතුළු වීමේ දොරටුව වසා තිබුණා. එම ආයතනය ඉදිරිපිට බිම මිය ගොස් සිටි දෙදෙනාගේ මෘත ශරීර තිබුණා.

ඒඅවස්ථාවේ විදුලි බල්බ දැල්වෙමින් තිබුණා. දෙදෙනාගේම සිරුරුවල ලේ තැවරී තිබුණා. අත්තනගල්ල මහේස්ත්‍රාත්තුමිය එම ස්ථානයට පැමිණීමෙන් පසුව නිහාල් ෆැෂන් ආයතනයේ ඇතුළු වීමේ දොරටුව විවෘත කළා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා :-

මහේස්ත්‍රාත්තුමිය පැමිණීමෙන් පසුව නිහාල් ෆැෂන් ආයතනයේ දොරටුව විවෘත කළා කිව්වා.

ප්‍රධාන පොලිස් පරීක්ෂක කොල්ලුරේ මහතා:-

ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා :-

දොරටුව විවෘත කළාම දුටුවේ මොනවාද?

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා:-

නිහාල් ෆැෂන් ආයතනයට ඇතුළු වන පළමු පඩි පෙළේ සිට තුන්වන මහල දක්වා ඇති පඩිපෙළවල සියල්ලේම එක දිගට ලේ පැල්ලම් තිබුණා දුටුවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා :-

ඔබ ඇතුළු පොලිස් නිලධාරීන් නිහාල් ෆැෂන් ආයතනයේ සියලුම මහල් පරීක්ෂා කළාද?

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා:-

ඔව්, නිහාල් ෆැෂන් ආයතනය තුළ එදින රාත්‍රී සියලුම ස්ථාන පරීක්ෂා කෙරුවා. පසුදින උදෑසන අවට සියලු ස්ථානද පරීක්ෂා කෙරුවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා :-

මහේස්ත්‍රාත්තුමිය අපරාධ ස්ථාන සියල්ලම නිරීක්ෂණය කළාද?

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා:-

ඔව්, මහේස්ත්‍රාත්තුමිය සියලුම ස්ථාන නිරීක්ෂණය කළා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා :-

වතුපිටිවල මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රමේශ් අලගියවන්න මහතා එම ස්ථානයට පැමිණියාද?

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා:-

ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා :-

ඔබ සිද්ධිය සිදු වූ ස්ථානය අවට පරීක්ෂා කිරීම් කළා කිව්වා.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා:-

ඔව්, පරීක්ෂා කිරීම් කළා. මිය ගොස් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැමිණි ජීප් රථය ශක්ති වයින් ස්ටෝර්ස් එක ආසන්නයේ ගිනි තබා විනාශ කර තිබෙනවා දුටුවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා :-

ඔය සිද්ධිය වූ ස්ථානය ඇතුළු අවට ප්‍රදේශයන්ට අදාළව ඡායාරූප කීයක් ගත්තාද?

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා:-

ඡායාරූප හාරසිය අනූ නමයක් ගත්තා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා :-

එම ඡායාරූපවලින් අද කීයක් ලකුණු කරනවා ද?

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා:-

ඡායාරූප එකසිය අටක් අද ලකුණු කරනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා :-

ඔය සිද්ධියෙන් පසුව නැවත ඔබ නිහාල් ෆැෂන් ආයතනයට ගියාද?

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා:-

ඔව් ගියා. මැයි මස 17 වනදා මම නැවත ගියා. එහි සේවිකාවන් පිරිසකට හිස් පතරොම් කිහිපයක් හමුවී ඇති බවට ලද පණිවුඩයකට අනුව තමයි එදින නැවත නිහාල් ෆැෂන් ආයතනයට ගියේ.

මෙහිදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ ප්‍රකාශවලට අදාළ ඡායාරූප එකසිය අටක් පුළුල් තිරයේ ප්‍රදර්ශනය කරමින් එම ඡායාරූප ලකුණු කිරීම පස්වරු 4.15 දක්වා සිදු කරනු ලැබීය.

ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා කරන ලද ඉල්ලීමක් සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඊළඟ දිනයේ සිට විත්තිකරුවන් සියලු දෙනාට වාඩි වීම සඳහා පහසුකම් සැලසීමට ද තීරණය කරනු ලැබීය.

මෙහිදී ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සහභාගිත්වයෙන් ස්ථාන පරීක්ෂණයක් සිදු කිරීමටද තීරණය විය.

ගෝඨා ගමට හා මයිනා ගෝ ගමට මැර ප්‍රහාරයක් එල්ල වූ පසුගිය වසරේ මැයි මස 09 වනදා පස්වරුවේ නිට්ටඹුව නගරයේ දී හටගත් මහජන නොසන්සුන්තාවයන් අතරතුරදී පොලොන්නරුව හිටපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල හා ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන් අහංගම විතානරලාගේ ජයන්ත ගුණවර්ධන යන දෙදෙනා ඝාතනය කොට තිබිණ.

නැවත නඩුව විභාගයට ගැනීම 2024.01.11 වනදාට කල් තැබිණ.

විත්තිය වෙනුවෙන් ලාල් කුමාරපේලි, උපුල් අබේවික්‍රම, ප්‍රදීප් පෙරේරා, පියරුවන් ගුණතිලක, සාලින්ද අමරසිංහ යන නීතිඥ මහත්වරු හා නීතිඥ ශිරාණි දිසානායක මහත්මිය ඇතුළු නීතිඥ මහත්ම මහත්මීන් පිරිසක් හා ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා ද පෙනී සිටියහ.

රජයේ නීතිඥ ක්‍රිෂාන් අල්විස් කුලතිලක මහතා ඇතුළු රජයේ නීතිඥ මහත්ම මහත්මීන් පිරිසක් සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙයවිය.

වේයන්ගොඩ විශේෂ වාර්තාකරු සහ ගම්පහ සමූහ – ටෝනි කරුණානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT