වැඩ බලන පොලිස්පතිට ආශීර්වාද කරමින් මල්වතු-අස්ගිරි මහනාහිමිවරු පවසති
රටේ ජනතාව භීතියට පත් කරමින් ක්‍රියාත්මක අපරාධ රැල්ලත් පාසල් ළමයින් පවා ගිලගනිමින් පවතින මත්ද්‍රව්‍ය උවදුරත් පාලනය කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම වැඩ බලන පොලිස්පතිවරයා හමුවේ පැවසූහ. අපරාධ හා මත්කුඩු අතර පැහැදිලි සම්බන්ධතාවක් තිබෙන බවත් මේ නිසා සියල්ලට ප්‍රථම මේ උවදුරු දෙකෙන් රට මුදාගත යුතුව තිබෙන බවත් උන් වහන්සේ දෙනම ප්‍රකාශ කළහ. වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පෙරේදා (2) මල්වතු අස්ගිරි උභය මහා විහාරවලට ගොස්, එම පාර්ශ්වයන්හි මහනාහිමිවරුන් දෙනම බැහැදැක ආශීර්වාද ගත් අවස්ථාවේ උන් වහන්සේ මේ බව පැවසූහ.
මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියන් බැහැදැක ආශීර්වාද ගැනීමෙන් පසු වැඩ බලන පොලිස්පතිවරයා අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් බැහැදැක ආශීර්වාද ගත්තේය. අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්මරතන නාහිමියෝද මේ අවස්ථාවට සහභාගි වූහ.
මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ක්‍රිෂාන්ත රත්නායක, මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී අනුරුද්ධ බණ්ඩාරනායක යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීහු රැසක්ද මේ අවස්ථාවට එක් වූහ.
අසේල කුරුළුවංශ