Home » ඔකිත පුතා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන් බිහි වූ අතිවිශිෂ්ටයෙක් -විදුහල්පති සම්පත් වේරගොඩ
9 ශ්‍රේණියේදී සා/පෙළ ලියා A නවයක් ගත් හපන්නු

ඔකිත පුතා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන් බිහි වූ අතිවිශිෂ්ටයෙක් -විදුහල්පති සම්පත් වේරගොඩ

by sachintha
December 4, 2023 1:00 am 0 comment

විශාරද 1 විභාගය සමත් වී 2ටත් සූදානම් වනවා ජපන් භාෂා ප්‍රවීණතා විභාගයටත් පෙනී හිටියා පරිගණක තාක්ෂණයත් හදාරනවා

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉකුත්දා නිකුත් කෙරිණ. එහි විශිෂ්ට ප්‍රතිඵල ලද සිසු සිසුවියන් පිළිබඳ දැන් ජනමාධ්‍ය මඟින් රටම හඳුනයි. මේ තවත් සාමාන්‍ය පෙළ විශිෂ්ට ප්‍රතිඵල ලාභියෙකි. එහෙත්, ඔහුගේ කැපී පෙනෙන තවත් දස්කම් රැසකි. ඒ කතාව අද අපේ කතා නායකයාගෙන්ම අසා දැනගනිමු. ඒ වෙනුවෙන් අපි පිළියන්දල ප්‍රදේශයට ගියේ අපේ කාලයේ මේ දක්ෂයා සොයා ගෙනයි.

අන් බොහෝ සිසු සිසුවියන් එකොළොස් අවුරුද්දක් තිස්සේ වැපුරූ බීජවල අස්වනු නෙළා ගනිද්දී, අපේ කතා නායකයා ඒ වරම ලද්දේ ඊට අඩු කාලයකිනි. ඒ, කොළඹ ඩී. එස් සේනානායක විද්‍යාලයේ 9 වැනි ශ්‍රෙණියේ සිසුවකු වශයෙනි.

ඔකිත දින්තරු… ඔහුයි අපේ කතා නායකයා. ඔකිත ලොකු වැඩ කළත් තවම 14 හැවිරිදියි. අපි දැන් ඔකිත දෙසට හැරෙමු.

ඉතින් කොහොමද පැමිණි ගමන් මඟ? ඒ අපේ පැනයයි. ඔකිත ඒ ඔස්සේ වැටුණු බර කල්පනාවකින් පසුව හඬ අවදි කරන්නයි සූදානම:

අපි දැන් මෙතැන් පටන් ඔකිතගේ හිත කියවමු:

“මං ඩී.එස්. සේනානායක විද්‍යාලයට ආවේ, 5 ශිෂ්‍යත්වය සමත් වෙලා. ඊට කලින් ඉගෙනගත්තේ මොරටුවේ වේල්ස් කුමර විදුහලේ. ඒත් කොරෝනා කාලේ බලාපොරොත්තු නොවුණු විදියට අධ්‍යාපන ක්‍රමවේද වෙනස් වුණා නේ. මං වෙනදා විදියටම මගේ හුරුපුරුදු ඉගෙනුම් වැඩ කළා. සමහර පන්ති, පාඨමාලා මාර්ගගතවයි හැදෑරුවේ. මං සංගීත විශාරද 1 විභාගය සමත්. වයලීන වාදනයටත් මං හරි ආසයි. දැන් විශාරද 2 කොටසට සූදානම් වෙනවා. ඒ වගේම ICT පැත්තෙන් ඉදිරියට යෑමයි, මගේ අරමුණ. ඊටත් සූදානම් වෙනවා.

“මං ජපන් භාෂා ප්‍රවීණතා (N4) විභාගයටත් ඉකුත්දා පෙනී හිටියා. පරිගණක තාක්ෂණයත් හදාරනවා. ඒ පාසල් අධ්‍යාපනයට අමතරවයි. ඉතින් මට 9,10,11 වසර තුනේම විෂය නිර්දේශ එකවර හදාරන්න පුළුවන් වුණා. ඒත්, එදිනෙදා වැඩ මං අතපසු කරගත්තෙත් නෑ. කාට වුණත් අධිෂ්ඨානයෙන් එක් අරමුණක් ඇතිව වැඩ කරනවා නම් ඒ ඉලක්කවලට යෑම අපහසු නෑ. ඒ වගේම මට මගේ මවුපියන්ගෙන් ලැබුණු සහාය විස්තර කරන්න බැරි තරම්. ඒ අය නැති නම් මට මේ දිනුම නෑ. ක්‍රීඩා අතිනුත් මං ඉස්කෝලේ බැඩ්මින්ටන් තරගවලට සහභාගි වුණා. මේ හැමෝම ඇතුළු සියලු දේත් මට දිරි ගෙනාවා. මට මෙතෙක් පැමිණි ගමන් මඟ දිහෑ හැරී බලද්දී හරි සතුටුයි.”

එසේම ඩී.එස්. සේනානායක විද්‍යාලයේම ගුරුවරියක වන, ඔකිතගේ මව චන්දිමා ජීවන්ති මහත්මියත් මේ කතාවට එකතු වුණා:

“පුතාමයි මේ යෝජනාව කළේ. අපි එහි නීතිමය තත්ත්වය සොයා බලා, එයාට උපරිම සහාය දුන්නා. ඒ අනුව සාමාන්‍ය පෙළ ලියන්න නම්, පාසලෙන් ඉවත් වී පෞද්ගලිකව විභාගයට ඉදිරිපත් විය යුතු වුණා. එහිදීත් කොළඹ ප්‍රධාන පාසලකින් පුතා ඉවත් කර ගැනීම ගැන සමහරු ප්‍රශ්න කළා. මේක අපිට මවුපියන් විදියට ලොකු අභියෝගයක් වුණා. ඒත්, පුතාගේ කැමැත්තට අපි ඉඩ දුන්නා. දැන් එහි ප්‍රතිඵල ලැබුණා. යම් විදියකින් පුතා අසාර්ථක වුණා නම්, සමාජයෙන් අපට ඒක චෝදනාවක් විදියට එල්ල වෙන්නත් තිබුණා.

“පොත්පත් විතරක් නෙවෙයි. හොඳ ගුරුවරු පිරිසකුත් පුතාට ලැබුණා. ඒ අයට ස්තූති කළ යුතුමයි. ඒ හුඟ දෙනෙක් එකම විෂයේ පන්ති තුනක විෂය කරුණු වුණත් හරිම සැලසුම් සහගත විදියට ඉගැන්වූවා. අනෙක, මං ගුරුවරියක් නිසා පුතාට මෙහෙම වෙහෙසක් දෙනවා ඇති කියලා සමහරු හිතුවත් ඇත්තටම එහෙම දෙයක් නැහැ. අපි පුතාව විශ්වාස කළා. එයා ඒක උපරිමයෙන් ආරක්ෂා කළා. ඉතින් හරිම සතුටුයි…”

විදුහල්පති, සම්පත් වේරගොඩ මහතා ඔකිත පුතා පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසක්:

“කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ තේමා පාඨය ‘තමාට පෙර රට’ යන්නයි. ඒ අනුව අපේ තවත් අතිදක්ෂ සිසුවකු මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී A සාමර්ථ්‍ය 9ක් අරන් තියෙනවා. ඇත්තෙන්ම එවැනි විශිෂ්ට සාමර්ථ්‍ය ඩී. එස් සේනානායක විද්‍යාලයට අමුත්තක් නෙවෙයි. ඒ වග අමුතුවෙන් කිව යුතු නැහැ. ඒත්, මේ අතිදක්ෂ සිසුවාගේ හපන්කම ගැන අපිට තවත් ආඩම්බරයි. ඇත්තෙන්ම මේ අපේ විද්‍යාලයේ කීර්ති නාමය තව තවත් ඉහළට ඔසවා තැබූ අවස්ථාවක්.

“ඒ ගැන විස්තර කරනවා නම්, ඇත්තෙන්ම මේ සිසුවා තවම 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නේ. ඒ අතරතුරයි මේ දස්කම දක්වා තියෙන්නේ. එපමණක් නෙවෙයි. මේ පුතාගේ තවත් විශේෂත්වයක් අපි දකිනවා. එනම් සාමාන්‍ය විෂයයන්වලට වගේම සෞන්දර්ය විෂයයටත් A සාමර්ථ්‍ය ගැනීමයි. ඒ කලාතුරකින් දකින්න ලැබෙන අවස්ථාවක්. අනෙක අපිට වෘත්තිකයන් අවශ්‍යයි. ඒත්, ඊටත් වඩා රටක් විදියට අපිට නව නිපැයුම්කරුවන් ඕනෑ කරනවා. මේ අවස්ථාව මං දකින්නේ එහි තවත් අවස්ථාවක් විදියටයි. ඒ තරම්ම කලාතුරකින් දකින්න ලැබෙන දස්කමක් තමයි මේ. අනෙක, මෙරට ඕනෑ තරම් සිසු සිසුවියන් 11 ශ්‍රේණියට කලින් සාමාන්‍ය පෙළ ලියනවා. ඒත්, කලිනුත් මං සඳහන් කළ විදියට මේ සිසුවා සෞන්දර්ය විෂයය ඇතුළුව පාසලේ විෂය බාහිර ක්‍රියාකාරකම්වලටත් සහභාගි වෙමින් අධ්‍යාපනය වගේම බාහිර දස්කම් පෙන්නුම් කිරීමත් අගය කළ යුත්තක්. මං හිතන්නේ කල්තබාම ඒ මවුපියවරුත් මේ සිසුවාගේ දස්කම් දැකගන්න ඇති. ඒ අනුව ඔහුට දිරි දීමෙන් තමයි මේ විශිෂ්ට ජයග්‍රහණය අත් කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒක අනෙක් මවුපියවරුන්ටත් ආදර්ශයක්. මං නැවත වරක් ඒ ගැන අවධාරණය කරමින්ම, ඔහුගේ ඉදිරි ගමනට ඉත සිතින් සුබ පතනවා!”

නුවන් මහේෂ් ජයවික්‍රම

ඡායාරූප – රංජිත් අසංක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT