මහනුවර උසස් බාලිකා විදුහලේ 8 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන කේ.සී. ප්‍රනකේෂීණී සිසුවිය මෙවර බාහිර අපේක්ෂිකාවක ලෙස දෙමළ මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමින් විභාගය සමත්ව තිබේ.
ඇය ඒ සාමර්ථ්‍යයක් බී සාමර්ථ්‍යය තුනක් සහ සී සාමර්ථ්‍යය පහක් සමඟ විභාගය සමත්ව ඇත. ක්‍රිස්තියානු ධර්මය සඳහා සාමර්ථ්‍යයක්ද විද්‍යාව, ඉංග්‍රිසි සහ දෙමළ යන විෂයයන් සඳහා බී සාමර්ථ්‍යයද ඉතිහාසය, ශාරිරික හා අධ්‍යාපනය, දෙමළ සාහිත්‍ය, ගණිතය හා සිංහල විෂයයන් සඳහා සී සාමර්ථ්‍යයද ඇය හිමි කරගෙන තිබේ.
සාමාන්‍ය පෙළ විභාගයට 8 වැනි ශ්‍රේණියේදී පෙනී සිටින බව තීරණය කරමින් ප්‍රනකේෂිණි වසර දෙකකදී 9,10 හා 11 වසරවල අධ්‍යයන කටයුතු යූ ටියුබ් හා පෞද්ගලික අධ්‍යයනය ඔස්සේ අවසන් කර ඇත.
පාසලේ පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටියදී අන්තර් පාසල් වයස අවුරුදු 7න් පහළ චෙස් තරගාවලියේදී ජාතික ශූරතාව දිනාගත් ඇය West asian blitz චෙස් තරගාවලියේදී රටවල් ගණනාවක ක්‍රීඩකයන් පරාජය කරමින් රන් පදක්කම දිනාගැනීමටද සමත් වූවාය. මේ වන විට ඇය චෙස් තරඟාවලි සඳහා රටවල් හයක සංචාරය කර තිබේ.
කරාතේ, කික් බෝක්සින් හා කුන්ෆු සටන් කලාව ප්‍රගුණ කරන ඇය කරාතේ සහ කික් බොක්සින් ක්‍රීඩාවේ දුඹුරු පටිය දිනාගෙන, එහි කළු පටිය ගැනීමේ අපේක්ෂාවෙන් පුහුණුවීම් කරන බව ප්‍රනකේෂිණීගේ මව වන කාංචනා දේවි මහත්මිය කීවාය.
කනකේෂීණීගේ මව වෘත්තියෙන් පාසල් ගුරුවරියකි. පියා කිරුබාකර් පාසල් සිසුන්ට විද්‍යා විෂයය සම්බන්ධ පෞද්ගලික පන්ති පවත්වයි.
ප්‍රනකේෂිනි මේ වනවිට ඉංග්‍රීසි,කොරියන් භාෂාව සහ තොරතුරු තාක්ෂණය සම්බන්ධ ඩිප්ලෝමා තුනක් අවසන් කර තිබෙන බව ද ඇගේ මව කීවාය.
අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව කලා විෂය ධාරාවෙන් ලබන වසරේ සිට උසස් පෙළ පෞද්ගලිකව හැදෑරීමට ඇය බලාපොරොත්තු වෙයි.
පාසල් අධ්‍යාපන කටයුතුද සාමාන්‍ය පරිදි සිදු කරගෙන යමින් නියමිත වයසේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට විද්‍යා විෂය ධාරාවෙන් උසස් අධ්‍යාපනය ලැබීමට ප්‍රනකේණී අපේක්ෂා කරයි.
ප්‍රනකේෂිණීගේ එකම සහෝදරයා වන කේ.සී. හරිකිෂන් මහනුවර ත්‍රිත්ව විදුහලේ උසස් පෙළ හදාරන අතර, ඔහු මේ වන විට ඩිප්ලෝමා 17ක් සම්පූර්ණ කර ඇත. කාරාතේ කළුපටි ධාරියෙකු වන ඔහුද දක්ෂ චෙස් ක්‍රීඩකයෙකි.
අසේල කුරුළුවංශ