Sunday, May 11, 2025
Home » ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යුක්තිය ඉෂ්ට වී නෑ

ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යුක්තිය ඉෂ්ට වී නෑ

by sachintha
December 4, 2023 1:00 am 0 comment

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම

ආබාධිත සහිත ප්‍රජාව වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ මෙතෙක් යුක්තිය ඉෂ්ට වී නැති බව අප සෑම දෙනාම පිළිගත යුතු සත්‍යයක් බැවින් කිසිදු පක්ෂ පාට භේදයකින් තොරව ඒ සඳහා ඉදිරියේදී පෙනී සිටින බව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

ඊයේට (3) යෙදී තිබූ ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් පසුගියදා (1) දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී සංවිධානය කර තිබූ මෙම මාධ්‍ය හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආබාධිත සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සාමාජිකයන්, මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ආබාධිත සංවිධාන ඒකාබද්ධ පෙරමුණ ඇතුළු පාර්ශ්ව කිහිපයක් සිදු කළ ඉල්ලීමට අනුව පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් දේශපාලන භේදයකින් තොරව පසුගිය සැප්තැම්බර් මාසයේ මෙම සංසදය පිහිටුවා ගත් බව සදහන් කළ සභාපතිවරයා ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතීන් වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් පෙනී සිටින බවට සහතික විය.

මෙවර අය වැයෙන් බස් රථ 600ක් මිල දී ගැනීම සඳහා යෝජනාවක් පවතින බැවින් ඉන් බස් රථ කිහිපයක් හෝ ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් මිල දී ගෙන නියමු ව්‍යාපෘතියක් කිරීමට ලබන 4 වැනිදා පාර්ලිමේන්තුවේදී යෝජනා කරන බවත් අලහප්පෙරුම මහතා පැවසීය. මෙම යෝජනාව ගෙන ඒම සම්බන්ධයෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයට සිය ස්තුතිය පිරිනමන බවද සභාපතිවරයා පැවසීය.

ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතීන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව 2006 වසරේ අස්සන් කළද දියුණු රටවලට සාපේක්ෂව අප බොහෝ පසුපසින් සිටින බව මෙහිදී සංසදයේ සභාපතිවරයා පෙන්වා දුන්නේය. මේ අනුව ප්‍රතිපත්ති සම්පාදනයේදී සාමූහිකව පෙනී සිටිමින් ආබාධිත ප්‍රජාව සහ ප්‍රතිපත්ති සම්පාදකයන් අතර සම්බන්ධීකරණය ඇති කිරීම ද සිය සංසදයේ අපේක්ෂාව බව ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

එසේම ආබාධ සහිත ප්‍රජාවගේ අවශ්‍යතාවන් විවිධ රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු ආදිය සමඟ බැඳී ඇති බැවින් ඒ සියලු ආයතන එකතු කරමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ගේ හඬ බවට පත්වීම මෙම නව සංසදයේ අරමුණ බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා පවසා සිටියේ, මීළඟ ජාතික මැතිවරණයේදී සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම දෘශ්‍යාබාධිත අය වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් (Tactile ballot paper) ලබා දීමට පියවර ගන්නා බවයි. මීට පෙර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 10ක නියමු ව්‍යාපෘතියක් ලෙස එම වැඩසටහන සාර්ථක වූ බවත් ඒ මහතා පැවසීය. එසේම ඡන්ද මධ්‍යස්ථානවල ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවගේ අවශ්‍යතා සහ ආබාධ සහිත ප්‍රජාවගේ ප්‍රවේශය සඳහා විශේෂ අවධානය යොමු කරන බවද පැවසීය. තවද ආබාධිත ප්‍රජාවට හැඳුනුම්පතක් ලබා දීමටත් පියවර ගන්නා බවත් රත්නායක මහතා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ආබාධිත සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සභාපති රසාංජලී පතිරගේ මහත්මිය පැවැසුවේ මෙරට ජනගහනයෙන් ආබාධ සහිත පුද්ගලයන්ගේ හඬ වෙනුවෙන් පාර්ලිමේන්තු සංසදයක් පසුගිය සැප්තැම්බර් 6 වැනි දින පිහිටුවීමට ලැබීම විශාල ජයග්‍රහණයක් බවය. මෙරට ආබාධ සහිත තැනැත්තන්ට බස් රථ, දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහනයේදී මෙන්ම ප්‍රවේශය සඳහා බොහෝ පොදු ස්ථානවල පහසුකම් නොමැති බැවින් විශාල අසාධාරණයක් සිදු වන බව ද ඇය පෙන්වා දුන්නාය. එසේම ආබාධ සහිත තැනැත්තන් විශාල වශයෙන් අපයෝජනයට ලක්වීම, අධ්‍යාපනයට ඇති බාධාවන් පිළිබඳව ද ඇය අවධානය යොමු කළාය.

එබැවින් ආබාධ සහිත තැනැත්තන්ගේ අයීතීන් නෛතිකව බලගැන්වෙන නව පනතක් සැකසීමේ අවශ්‍යතාව අවධාරණය කළ ඇය ආබාධ සහිත තැනැත්තන් සඳහා ද දේශපාලනය තුළ නියෝජනයක් ලැබිය යුතු බවද පෙන්වා දුන්නාය. එසේම සංසදයේ සභාපතිවරයා ඉතාම සංවේදී නායකයෙක් ලෙස ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් දක්වන දායකත්වය අතිශය අගය කරන බවද පැවසුවාය.

ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතීන් ගරු කරන යහපත් සමාජයක් බිහිකිරීම සඳහා මාධ්‍ය සතු වගකීම ද මෙහිදී අවධාරණය කෙරිණි.

එසේම සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත් වී කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ ජීව විද්‍යා විෂය හදාරන දෘශ්‍යාබාධිත ශිෂ්‍යයෙක් වන බ්‍රයන් කිංග්ස්ටන් මෙහිදී අදහස් දක්වමින් සිය ප්‍රජාවට අදාළ ගැටලු ඉදිරිපත් කරන ලදි.

මෙම අවස්ථාවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත මහතා බ්‍රේල් පහසුකම සහිතව සකස් කළ සිය තොරතුරු පත (visiting Card) සංසදයේ සභාපතිවරයාට සහ බ්‍රයන් කිංග්ස්ටන් ශිෂ්‍යයාට පිළිගැන්වීම ද සිදු විය.

කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, එහි සම උපසභාපති රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය, ගරු ආචාර්ය හරිනි අමරසූරිය, කේ.පී.එස්. කුමාරසිරි, උදයන කිරිදිගොඩ, පැෆරල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, NDI ආයතනයේ අධ්‍යක්ෂ ශ්‍යාමා සල්ගාදු යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

USAID ආයතනයේ මූල්‍ය අනුග්‍රහයෙන් සහ NDI ආයතනයේ සහයෝගයෙන් මෙම අවස්ථාව සංවිධානය කර තිබිණි.

ස්වර්ණා විජේකෝන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT