Saturday, May 10, 2025
Home » විස්තීර්ණ ණය පළමු සමාලෝචනය දෙසැ. 12දා

විස්තීර්ණ ණය පළමු සමාලෝචනය දෙසැ. 12දා

by sachintha
December 4, 2023 12:45 am 0 comment

මේ දක්වා ඩොලර් මිලියන 660ක් ලැබිලා

විධායක කමිටුවේදී දෙවැනි ණය වාරිකයත් ලැබේවි

ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත විස්තීර්ණ ණය පහසුකමට අදාළ පළමු සමාලෝචනය එළ­ැඹෙන 12දා සිදු කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම පිරිනැමීම සඳහා අනුමැතිය ලබාදී තිබෙන අතර, ඒ අනුව එහි පළමු සමාලෝචනය මෙලෙස සිදු වන බව එම අරමුදල පෙන්වා දෙයි.

විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ දීර්ඝ විධිවිධාන පිළිබඳ පළමු සමාලෝචනය සිදු වන අතර, කාර්ය සාධන නිර්ණායක පිළිපැදීමෙන් නිදහස් කිරීම සඳහා ඉල්ලීම, කාර්ය සාධන නිර්ණායක වෙනස් කිරීම සඳහා ඉල්ලීම, මූල්‍ය සහතික සමාලෝචනය සහ ප්‍රවේශය නැවත සකස් කිරීම එහිදී සලකා බැලෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

පසුගිය වසරේ ශ්‍රී ලංකාව විදේශ විනිමය සංචිත වාර්තාගත ලෙස පහත වැටීම හේතුවෙන් දශක හතක් තුළ එහි දරුණුතම මූල්‍ය අර්බුදයට ඇද වැටුණු බව පෙන්වා දෙන එම අරමුදල අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය පහසුකම සඳහා අනුමැතිය හිමිවීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථිකය අර්ධ වශයෙන් ස්ථාවර කිරීමට සමත්ව තිබීම, උද්ධමනය පහත හෙළීම සහ මුදල් සංචිත ගොඩනැංවීමට හැකි වී තිබෙන බවද එම අරමුදල කියා සිටී.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මෙන්ම පළමු සමාලෝචනය පිළිබඳ සොයා බැලීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් පසුගිය සැප්තැම්බර් මාසයේ 14 දා සිට 27දා තෙක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර, ඔක්තෝබර් මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව විස්තීර්ණ අරමුදල් පහසුකමට අදාළ පළමු සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට එළඹ තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වය සහ විධායක මණ්ඩලයේ සමාලෝචනයෙන් පසුව විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 330ක මුදලක් ලබා දීමට නියමිතව තිබෙන අතර, ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන මූල්‍ය පහසුකම අමෙරිකානු ඩොලර් මිලියන 660 දක්වා ඉහළ යන බවද එම අරමුදල පෙන්වා දෙයි.

මේ මාසයේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක කමිටුවේ දී 2 වැනි ණය වාරිකය අනුමත කර ගැනීමට අවස්ථාවක් හිමිවනු ඇතැයි ද මුදල් අමාත්‍යාංශ්‍ය විශ්වාසය පළ කරයි.

 

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT