Sunday, May 11, 2025
Home » මෙරට විවාහ වූ අයගේ එතෙර දික්කසාද තීන්දු මෙහෙටත් වලංගුයි අභියාචනාධිකරණය පළමුවරට තීන්දු කරයි

මෙරට විවාහ වූ අයගේ එතෙර දික්කසාද තීන්දු මෙහෙටත් වලංගුයි අභියාචනාධිකරණය පළමුවරට තීන්දු කරයි

by sachintha
December 4, 2023 12:46 am 0 comment

 

මෙරට දී විවාහ වූ යුවළක් විදේශ රටක අධිකරණයකදී දික්කසාද වූ විට එම දික්කසාදය මෙරට නීතිය යටතේ ද වලංගු බවට තීරණය කරමින් අභියාචනාධිකරණය නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව විදේශීය අධිකරණයක දී දික්කසාද වූ යුවළක් නැවත මෙරට දිස්ත්‍රික් අධිකරණයකින් දික්කසාදයක් ලබා ගත යුතු බවට මෙතෙක් පැවැති නීතිය එම නඩු තීන්දුව මගින් වෙනස් කරනු ලැබීය.

එංගලන්තයේ අධිකරණයක දී දික්කසාදය ලබා ගත් තමන්ගේ දික්කසාදය පිළිගන්නා ලෙස විවාහ රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයාට නියෝග කරන ලෙස ඉල්ලා පුද්ගලයකු ගොනු කළ පෙත්සමක් විභාග කර අවසානයේ අභියාචනාධිකරණය විසින් මෙම තීන්දුව ඉකුත් 03වැනිදා ලබා දෙන ලදී.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

මෙරට සහ එංගලන්තයේ ද්විත්ව පුරවැසිභාවය හිමි ලියනගේ චම්පික හරේන්ද්‍ර සිල්වා නමැති අයකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

විවාහ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ඇතුළු පිරිසක් පෙත්සම මගින් වගඋත්තරකරුවන් කර සිටියේය.

පෙත්සම්කරු පූර්ණා සෙව්වන්දි නාගසිංහ නමැත්තිය සමඟ 2010 වසරේ දී මෙරට දී විවාහ දිවියට එළැඹ ඇති අතර විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා ම එංගලන්තයේ ස්ථිර පදිංචිය සඳහා ගොස් ඇත.

අනතුරුව එහි දී එම විවාහය බිඳ වැටී ඇති අතර දික්කසාදය ඉල්ලා පෙත්සම්කරු ඔහුගේ නීතිඥවරයා මගින් කඩුවෙල දිසාධිකරණයට දික්කසාද නඩුවක් ගොනු කර ඇත.

එම නඩුව කැඳවූ අවස්ථාවේ දී පූර්ණා සෙව්වන්දි නාගසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැනුම් දී ඇත්තේ මෙම පෙත්සම්කරු සමඟ ඇති විවාහය සම්බන්ධයෙන් ඇය ඒ වන විටත් එංගලන්තයේ කිංග්ටන් පවුල් අධිකරණයේ දික්කසාද නඩුවක් පවරා ඇති බවය.

ඒ අනුව කඩුවෙල දිසාධිකරණයේ ගොනු කර තිබූ දික්කසාද නඩුව ඉල්ලා අස් කර ගැනීමට පෙත්සම්කරු කටයුතු කර ඇත.

අනතුරුව එංගලන්තයේ ක්‍රිංග්ටන්ටන් පවුල් අධිකරණය මගින් අදාළ දික්කසාදය ලබා දී ඇති අතර අදාළ දික්කසාද සහතිකය 2018 වසරේ දී ලබාගෙන ඇත.

අනතුරුව පෙත්සම්කරු 2019 වසරේ දී තායිලන්තයේ බැංකොක් නුවර දී දෙවැනි විවාහයකට එළඹ ඇත.

එංගලන්තයේ ක්‍රිංග්ටන්ටන් පවුල් අධිකරණය ලබාදුන් දික්කසාදය පිළිගන්නා ලෙස මෙරට රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයාගෙන් 2021 වසරේ දී පෙත්සම්කරු ඉල්ලා ඇත.

එහෙත් රෙජිස්ටාර් ජෙනරාල්වරයා එම දික්කසාදයගැනීම ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර ඇත්තේ පෙත්සම්කරු මෙරට සුදුසු අධිකරණයකින් දික්කසාදය ලබාගත යුතු බවය.

රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයාගේ එම තීරණය බල රහිත කරමින් සර්ටියොරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කරු මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කළේය.

පෙත්සම විභාග කර අවසානයේ ඒ සම්බන්ධ තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරු මඬුල්ල සඳහන් කළේ විදේශ රටක දී සිදු වූ දික්කසාදයක් වලංගු දික්කසාදයක් ලෙස මෙරට දී ද පිළිගත හැකි බවය.

දික්කසාද නීතිය යටතේ සුදුසු අධිකරණයක නඩු පවරා දික්කසාදයක් ලබාගත යුතු බවට ප්‍රකාශ කර තිබුණද එම අධිකරණය ශ්‍රී ලංකාවේ පිහිටි අධිකරණයක් පමණක් බවට සඳහන් නොවන වන බව අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා මෙම තීන්දුව මගින් පෙන්වා දී තිබේ.

ඒ අනුව එංගලන්තයේ කිංග්ටන් පවුල් අධිකරණය මගින් ප්‍රකාශ කළ දික්කසාදය මෙරට දී ද වලංගු බවට තීරණය කළ අභියාචනාධිකරණය එය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ රෙජිස්ටාර් ජෙනරාල්වරයාගේ තීරණය බල රහිත කරමින් සර්ටියොරාරි රිට් ආඥාවක් නිකුත් කළේය.

නීතිඥ නිශාදි වික්‍රමසිංහ සමඟ නීතිඥ සේනානි දයාරත්න මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි අතර රජයේ නීතිඥවරුන් වන නයෝමි කහවිට සහ එම් ෆර්නෑන්ඩෝ ප්‍රනාන්දු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT