මෙගා නැව් 3කට එකවර නැංගුරම් දැමිය හැකියි
කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු එළැඹෙන 2024 වසරේ මැද භාගය වන විට අවසන් කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සැලසුම් කර තිබේ. කොළඹ වරායේ ඉදිවන විශාලතම පර්යන්තය වන නැඟෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය අවධාරණය කරයි.
මෙම ඉදිකිරීම් ලබන වසරේ මැද වන විට නිමකොට මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉලක්ක කර තිබෙන අතර, මෙම පර්යන්තයේ ඉදිවන ජැටිය මීටර් 1400ක් වන බවද ඉදිකිරීම් නිම වීමෙන් පසු මෙගා නැව් 03කට එකවර නැංගුරම් දැමීමට හැකියාව ලැබෙන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. නෞකාවලින් බහාලුම් ගොඩබෑම සඳහා ගැන්ට්‍රි දොඹකර 12ක් සහ බහාලුම් තැන්පත් කිරීම සඳහා ට්‍රාන්සර් දොඹකර 40ක් නැඟෙනහිර පර්යන්තයේ ස්ථාපිත කරන අතර බහාලුම් අංගණයේ වපසරිය හෙක්ටයාර 75කි.
වසරකට බහාලුම් මිලියන 03ක මෙහෙයුම් කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති නැඟෙනහිර පර්යන්තය අර්ධ ස්වයංක්‍රිය ලෙස ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීමට සැලසුම් කර ඇත. මෙම නැඟෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා අෙමරිකානු ඩොලර් මිලියන 585ක් වැය වන අතර, සියලු මූල්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් වැය කිරීමට නියමිතය.
ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් ලෙස චයිනා ඉංජිනේරීන් සහ ඇක්සස් ඉංජිනේරීන් යන සමාගම් කටයුතු කරන අතර, මෙම ඉදිකිරීම් කටයුතු නීරීක්ෂණය කිරීම සඳහා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා නැඟෙනහිර පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ්, උප සභාපති ගයාන් අලගේවත්තගේ, කඝමනාකාර අධ්යක්ෂ ප්‍රභාත් මලවිගේ මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
මෙම නිරීක්ෂණයෙන් අනතුරුව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඉදිකරන මෙම නැෙඟනහිර පර්යන්තය, වරාය තුළ තිබෙන වටිනාම පර්යන්තය බවයි. ඒ නිසා මෙම පර්යන්තයේ ඉදිකිරීම් කඩිනමින් හා ගුණාත්මකභාවයෙන් යුතුව ඉදිකර ගැනීමට වාද භේද නොමැතිව එකා මෙන් එක්ව කටයුතු කළ යුතු බවද එසේ නොවුණ හොත් මෙම පාඩුව බලපාන්නේ තමාට නොව වරායේ සේවකයන්ට බවද පෙන්වා දුන්නේය.
ආසියාවේ වරායවලින් ප්‍රධානතම වරායක් ලෙස කොළඹ වරාය නම් කළ හැකි වන අතර, මෙය ආසියාවේ කේන්ද්‍රස්ථානය කර ගැනීමටත්, වඩ වඩාත් නැව් කොළඹ වරායට ආකර්ෂණය කර ගැනීමටත් වැඩපිළිවෙළක් සැකසිය යුතු බවද ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.
මහින්ද අලුත්ගෙදර