Home » මාතර මහේස්ත්‍රාත් නඩු භාණ්ඩ ගබඩාවෙන් අවි-කුඩු පැන්නීම උසාවි නිලධාරිහු 3ක් තවත් 2ක් අත්අඩංගුවට

මාතර මහේස්ත්‍රාත් නඩු භාණ්ඩ ගබඩාවෙන් අවි-කුඩු පැන්නීම උසාවි නිලධාරිහු 3ක් තවත් 2ක් අත්අඩංගුවට

by sachintha
December 4, 2023 12:50 am 0 comment

මොරටු සංජීව ඝාතනය කළෙත් මෙතැනින් පැන්නූ අවියකින්

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබුණු ගිනිඅවි සහ මත්කුඩු සොරාගෙන අලෙවි කිරීමේ ජවාරමකට සම්බන්ධ එම අධිකරණයේ සේවයේ නිරත බහුකාර්ය සංවර්ධන නිලධාරීන් තිදෙනෙක් සහ එම ගිනිඅවි අලෙවි කිරීමට මැදිහත්කරුවන් ලෙස කටයුතු කළ පුද්ගලයින් දෙදෙනෙක් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සෙසු පුද්ගලයින් දෙදෙනා අතර බෝට්ටු හිමිකරුවෙක් වන ව්‍යාපාරිකයෙක් ද සිටින බව පොලිසිය කියයි. එම ව්‍යාපාරිකයා සතුව තිබී මහේස්ත්‍රාත් අධිකරණයෙන් සොරාගත් රිවෝල්වරයක්ද හමුවී ඇත. රුපියල් 280,000ක මුදලකට තමා එම අවිය මිල දී ගත් බව එම ව්‍යාපාරිකයා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත. එම අවිය අලෙවි කිරීමට මැදිහත් වූ පුද්ගලයා ද අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින බව පොලිසිය කියයි.

මෙම ජාවාරම්කරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබුණු ටී 56 අවියක්, රිවොල්වර 02ක් සහ පිස්තෝලයක් මේ වන විට සොරාගෙන පාතාල අපරාධකරුවන් ඇතුළු විවිධ පුද්ගලයින්ට අලෙවි කර ඇති බව හෙළි වී තිබේ.

දික්වැල්ල බෝදරකන්ද ප්‍රදේශයේදී පසුගිය අගොස්තු 15 වෙනිදා පාතාල අපරාධකරුවෙක් වූ මොරටු සංජීව නමැති පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුට වෙඩි තබා ඝාතනය කිරීමට යොදාගෙන තිබුණේද මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවෙන් පන්නා තිබුණු ටී 56 අවියකි. එම අවිය පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එම වෙඩි තැබීම සිදුව පැය 24ක් යන්නට මත්තෙන් සොයාගත්තේය.

එම ඝාතනය කමාන්ඩෝ බළකායේ හිටපු සෙබළෙකු විසින් ඩුබායිහි රැඳී සිටින පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ කොන්ත්‍රාත්තුවක් මත සිදු කර ඇතැයිද විශේෂ කාර්ය බළකාය සොයාගත්තේය. ගිනිඅවිය දික්වැල්ල පොලිසියට භාර දීමෙන් අනතුරුව එම අවියේ අනුක්‍රමික අංකය ඔස්සේ කළ පරීක්ෂා කිරීමේදී හෙළි වන්නේ ටී 56 වර්ගයේ එම අවිය පොලිස් දෙපාර්තමේන්තුවට අයත් එකක් බවය.

පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ ඇති අවි ගබඩාවෙන් එම අවිය නිකුත් කර තිබී ඇත්තේ හක්මන පොලිස් ස්ථානයටය. වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වූ නඩුවකට අදාළව එම අවිය 2009 වසරේදී අධිකරණයට භාර දී තිබී ඇත.

ගිනිඅවිය අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබියදී සොරාගත් එකක් බව හෙළි වී ඇත්තේ එහිදීය. ඒ වන විටත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවෙන් මෙම අවිය සොරාගෙන ඇති බව නඩු භාණ්ඩ ගබඩාවේ බලධාරීන්ද දැන සිට නැත.

නඩු භාණ්ඩ ගබඩාවෙන් මත්කුඩු පැන්නීමේ සහ ගිනිඅවි පැන්නීමට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අනාවරණය කර ගනු ලබන්නේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් පසුගිය ජූලි 12 වෙනිදා කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකට අදාළවය. එම පැමිණිල්ල කර ඇත්තේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබුණු හෙරොයින් පාර්සල් 02ක් අස්ථානගත වීමක් සම්බන්ධයෙනි.

දීර්ඝ ලෙස කළ එම විමර්ශනයට අදාළව මුල්ම සැකකරු අත්අඩංගුවට ගෙන අත්තේ පසුගිය 26 වෙනිදාය. අධිකරණයේ සේවයේ නිරත බහුකාර්ය සංවර්ධන නිලධාරියෙක් වූ එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත තවත් බහුකාර්ය සංවර්ධන නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 වෙනිදාය.

මෙම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරුම තවත් බහුකාර්ය සංවර්ධන නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නඩු භාණ්ඩ ගබඩාවේ තිබුණු ගිනිඅවි සොරාගෙන අලෙවි කිරීමේ ජාවාරම ගැන තොරතුරු හෙළි වී ඇත්තේ එහිදීය. මෙම සැකකරුවන් තිදෙනාම මාතර හා ඒ අවට ප්‍රදේශවල පදිංචි අවුරුදු 21ත් 26ත් අතර වයස්වල පසුවන්නන් බව පොලිසිය කියයි.

සොරාගත් ගිනිඅවි අතර ඇති රිවෝල්වරයක් මෙම සැකකරුවන් විසින් අලෙවි කර ඇත්තේ බෝට්ටු හිමිකරුවෙකුට බවත් එම බෝට්ටු හිමිකරු අතරමැදියෙක් මඟින් රුපියල් 280,000ක මුදලකට එම ගිනිඅවිය මිල දී ගෙන ඇති බවත් විමර්ශනයේදී හෙළි වී ඇත.

ඒ අනුව මාතර තුඩාවේ පදිංචි 32 හැවිරිදි එම අතරමැදියාත් මාලිම්බඩ පදිංචි 29 හැවිරිදි බෝට්ටු හිමිකරුත් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT