Home » පාර්ලිමේන්තුව දැන් ජනතාවට වඩාත් සමීප වෙමින් පවතිනවා

පාර්ලිමේන්තුව දැන් ජනතාවට වඩාත් සමීප වෙමින් පවතිනවා

by chanaka
December 4, 2023 4:38 pm 0 comment

මහජනතාවගෙන් දුරස්වූ පාර්ලිමේන්තුව දැන් ජනතාවට වඩාත් සමීප වෙමින් පවතින බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසයි.

කොලොන්නාව බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් පසුගියදා(30) එම විද්‍යාලයේදී පැවැත්විණි.

එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය ප්‍රකාශ කළේ මහජනතාවගෙන් දුරස්වූ පාර්ලිමේන්තුව නැවතත් ජනතාවට සමීප වෙමින් පවතින බවයි. ඒ සඳහා දිවයින පුරා මෙයාකාරයෙන් ශිෂ්‍ය පාර්ලිමේන්තු පිහිටුවීම ප්‍රමුඛ හේතුවක් බවටද පත්වී ඇති බවද ඇය ප්‍රකාශ කළාය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදි වටිනාකම් සහ එහි ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය දරුවන් වෙත සමීප කරවීමේ වටිනාකම පිළිබඳවද පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය මෙහිදී සිහිපත් කළේය.

මෙම අවස්ථාවට සමගාවමීව පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන් වෙත නිල ලාංඡන පැළඳවීමද පාර්ලිමේන්තුවේ මහලේකම්තුමියගේ ප්‍රධාත්වයෙන් සිදුවිය. ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින් කථානායකවරිය තෝරාපත් කර දිවුරුම් දීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය, අමාත්‍යවරියන් හා අනෙකුත් මන්ත්‍රීවරියන් දිවුරුම් දෙන ලදී.

මෙහිදී ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව මඟින් කොලොන්නාව බාලිකා විද්‍යාලය වෙත ග්‍රන්ථ ප්‍රදානයක්ද සිදු කළ අතර එම විද්‍යාලය විසින්ද ශිෂ්‍ය පාර්ලිමේන්තුව ස්ථාපිත කිරීම වෙනුවෙන් දැක්වූ දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වෙතද තිළිණ ප්‍රදානයක් සිදුවිය.

ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහන සඳහා විද්‍යාලයේ විදුහල්පති ජයන්තා බලගල්ල මහත්මිය, සමාජ විද්‍යා විෂය භාර අධ්‍යාපන අධ්‍යක්ෂ වාසනා හෙට්ටිආරච්චි මහත්මිය, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, කොලොන්නාව බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලි‍මේන්තුව භාර ආචාර්යතුමිය වන නිසංසලා ගල්මන්ගොඩ මහත්මිය ඇතුළු, ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතුන්, ශ්‍රී ලංකා පර්ලිමෙන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා හා මාධ්‍ය අංශයේ මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT