පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් කිසිදු හේතුවක් මත අධිකරණයෙහි නඩු පැවරිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (02) ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට අදහස් දැක්වීමේ අයිතිය ඇති බවත් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ අදහස් දැක්වීමට ඇති අයිතිය පූර්ණ වරප්‍රසාදයක් බවත් හෙතෙම පැවසීය. එබැවින් කිසියම් මහජන නියෝජිතයකු පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සිදු කරන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පියවර ගන්නේ නම් පාර්ලිමේන්තුවෙන් පිටස්තර පුද්ගලයකුට ඒ පිළිබඳ සොයා බලා හෝ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ හෝ දඬුවම් පැමිණවීමේ හැකියාවක් නැති බව ද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. එමෙන්ම මේ සම්බන්ධයෙන් හිටපු කථානායකවරයකු වන අනුර බණ්ඩාරනායක මහතා වැදගත් තීන්දුවක් ලබාදී ඇති බවත් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද සුරක්ෂිත කිරීම කථානායකවරයාගේ ප්‍රමුඛ කාර්යයක් බවද ජී.එල්. පීරිස් මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ බව සඳහන් කළේ අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට පෙරේදා (02) එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ ද පැවසීය. නීතිය නවීකරණය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා දරන උත්සාහය සම්බන්ධයෙන් අපි අගය කළ යුතුයි. එසේම අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහාත් එතුමා වෙහෙස දරනවා. මම අධිකරණ ඇමැතිවරයා ලෙස කටයුතු කළ වකවානුවේදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ඉල්ලීම අනුව මහනුවර අධිකරණ සංකීර්ණය ආරම්භ කිරීමට පියවර ගත්තා. නමුත් මේ වන විට එය අලුත්වැඩියා කිරීම සිදුවිය යුතුයි. අපේ රටේ ජනතා විශ්වාසයන් ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාසයන් මත ආරක්ෂා කර ගැනීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික සිද්ධාන්ත ආරක්ෂා කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලය බෙදීම විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය ආදී වශයෙන් වෙන වෙනම විස්තර කර තිබෙනවා. පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් පොදුවේ ක්‍රියාත්මක වන මූල ධර්මයක් තමයි පාර්ලිමේන්තු සභාවේ සිදු කරන අදහස් දැක්වීම් නීතියෙන් ආරක්ෂා වීම. එය පූර්ණ වරප්‍රසාදයක්. කිසිම හේතුවක් නිසා එවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරීමේ හැකියාවක් නැහැ.