Home » ඩයනා-සුජිත්-රෝහණට පැනවූ මාසික තහනම වැඩි ඡන්ද 56කින් සම්මතයි

ඩයනා-සුජිත්-රෝහණට පැනවූ මාසික තහනම වැඩි ඡන්ද 56කින් සම්මතයි

by sachintha
December 4, 2023 1:00 am 0 comment

සුමන්තිරන් විරුද්ධයි

සජබ පිටව යයි

ලෝකයේ සිටින කථානායකවරුන්ගේ නියෝජ්‍ය කථානායකවරුන්ගේ තට්ටෙ පෑදිලා

එහෙම වෙන්නේ පීඩනය නිසා බව අප්‍රිකානු කථානායකවරිය මට පැවසුවා

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ

රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු මාසයකට තහනම් කිරීමට පාර්ලිමේන්තුවේ ආචාරධර්ම සහ වරප්‍රසාද කමිටුව කළ නිර්දේශය වැඩි ඡන්ද 56කින් පාර්ලිමේන්තුවේදී පෙරේදා (02) සම්මත විය.

එම නිර්දේශයට පක්ෂව ඡන්ද 57ක් සහ විපක්ෂව එක් ඡන්දයක් ලැබුණු අතර මන්ත්‍රීවරු තිදෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක සහ පුත්තලම දිස්ත්‍රික මන්ත්‍රී මායාදුන්න චින්තක අමල් මහත්වරු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.

සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේ සභාවෙන් පිටව ගියහ. වරප්‍රසාද කමිටු තීරණය ප්‍රකාශ කරමින් ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණීම පෙරේදා (02) සිට මාසයක කාලයක් අත්හිටුවන බවට සභානායක, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී යෝජනාව ඉදිරිපත් කෙරිණ. එම යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමක් සිදුකෙරිණ.

සභානායක, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා,

ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම. 2023 ඔක්තෝබර් මස 20 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. සුජිත් සංජය පෙරේරා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා අතර සිදු වූවා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති චමල් රාජපක්ෂ මහතා විසින් 2023 දෙසැම්බර් 01 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශ අනුව මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය, මන්ත්‍රී කේ. සුජිත් සංජය පෙරේරා මහතා, මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා යන අයගේ පාර්ලිමේන්තු කටයුතු අද (02) සිට මාසයක කාලයක් සඳහා අත්හිටුවන බව පාර්ලිමේන්තුවට යෝජනා කරයි.

කථානායක, 

සභාව එකඟද?

විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,

අපි මේ යෝජනාවට විරුද්ධයි. මේ යෝජනාවට අදහස් දක්වන්න අපට අවස්ථාව දෙන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා,

මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කථානායකතුමා, නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. මේ කමිටුව මේ පිළිබඳ විභාග කරලා තීරණයක් ගත්තා. නමුත් වරප්‍රසාද කමිටුවට ආවට පස්සේ ඒ තීරණය වෙනස් කළා. අපි ඒකට විරුද්ධව ඡන්දය දුන්නා. යම් කොටසකට අසාධාරණයක් වෙලා තිබෙනවා. මේ කමිටු පත් කරන්නේ කථානායකවරයා මොකටද? ඒකෙන් ඔබතුමාටත් අපහාසයක් වෙනවා. ඔබතුමා පත් කරන කමිටුවේ වාර්තා මෙතන ක්‍රියාත්මක කරන්නේ නැහැ.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා,

මේ කියන සිද්ධිය වූ වෙලාවේ ඒ ගැන සොයන්න කථානායකවරයා කමිටුවක් පත් කළා. නියෝජ්‍ය කථානායක සභාපතිවරයා ලෙසටත්, චමල් රාජපක්ෂ මහතාත්, රමේෂ් පතිරණ මහතාත්, සීතා අරඹේපොළ මහත්මියත්, ඉම්තියාස් බාකීර් මහතාත් තලතා අතුකෝරල මහත්මියත් මමත් එහි සාමාජිකයන් ලෙස කටයුතු කළා. අවස්ථාව ගණනාවක් මේ කමිටුවේ කටයුතුවලටම දුර බැහැර සිට පැමිණ කාලය නාස්ති කරලා වීඩියෝපට නරඹලා සාක්ෂි කැඳවලා මේ අයගෙත් අදහස් විමසලා අපි තීරණයක් ගත්තා. ඒ තීරණයේදී කමිටු සාමාජිකයන් හත්දෙනෙක්ම එක පුද්ගලයකු සම්බන්ධයෙන් ඒකමතික තීරණයකට එකඟ වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා,

එම කමිටුවේ මමත් සාමාජිකත්වය දැරුවා. රටේ ජනතාව පාර්ලිමේන්තුව දිහා බලන් සිටිනවා. සාධාරණව අපක්ෂපාතීව වැඩ කරයි කියලා ඔවුන් හිතනවා. අපි හිටපු විනය කමිටුවේ සාමාජිකයෙක් චමල් රාජපක්ෂ මහතා. මේ තීන්දුව වෙනස් කළ කමිටුවේ සභාපතිත් චමල් රාජපක්ෂ මහතා. මොකද්ද වෙන්නේ කියලා මට හිතා ගන්න බැහැ. කමිටු වාර රැස්වීම් හතරක් අපි පැවැත්වූවා. පැමිණිලිකාරයන්, සාක්ෂිකාරයන් කැඳෙව්වා. සවන් දුන්නා. දර්ශන බැලුවා.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා,

පාර්ලිමේන්තුවේ විනය විරෝධී සිද්ධියක් වූ විට නිල වශයෙන් ඒ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් වන්නේ මම. ඒ නිසා තමයි ඒ වගකීම කථානායකතුමා මට පැවරුවේ. එසේ නැතිව පෞද්ගලික දේවල් ඉලක්ක කරගෙන නෙවෙයි. මේ කමිටුව රැස්ව නීත්‍යනුකූලව අවස්ථානුකූලව කටයුතු කරන්න අපි කටයුතු කළා. කාන්තා නියෝජිත මන්ත්‍රීවරියන් දෙදෙනකුත් සහභාගි කරගෙන අපි මේ කටයුත්ත සිද්ධ කළා. කමිටුවේ වාර්තාව නීත්‍යනුකූලව කථානායකවරයාට අපි භාර දුන්නා. අශීලාචාර විදියට මේ සභාව තුළ ඇතැම් අවස්ථාවලදී මේ අය හැසිරෙනවා. ඔය මූලාසනයේ මාත් වාඩි වෙනවා. මේ පාර්ලිමේන්තුවේ සිටින ගොඩක් අය හිතාගෙන ඉන්නේ කථානායක වුණාම හිට්ලර් වගේ කියලා. මේ 225ම ගහන්න ආවාම තනිවම ඔවුන්ට ගහන්න පුළුවන් පොරක් වගේ තමයි ඉන්න වෙලා තිබෙන්නේ. ඊට අමතරව සමහරු හිතන්නේ සර්ව බලධාරී කියලා. මේ සියලු දේ දන්නවා කියලා හිතනවා. මූලාසනයේ වාඩි වුණාම රොත්තක් හැටියට එකට බලපෑම් කරනකොට මොන තරම් පීඩනයක් ද කියලා ඔබතුමා දන්නවා. සමහරු ඒක සැහැල්ලුවෙන් හිතනවා. මම මේ මෑතකදී සහභාගි වූ කොරියානු වැඩමුළුවකදී අප්‍රිකානු නියෝජ්‍ය කථානායකවරිය මගෙන් අහනවා ඔබතුමාගේ තට්ටය නේද කියලා. ඇය ප්‍රකාශ කරනවා, ලෝකයේ සිටින කථානායකවරුන්, නියෝජ්‍ය කථානායකවරුන්ගේ තට්ටය කියලා. එහෙම වෙන්න හේතුව පීඩනය කියලා ඇය කියනවා. පාර්ලිමේන්තුවේ සිටින හැමෝම ආචාරශීලි විය යුතුයි. තව සමහරු සභාවේ දොර ඇරගෙන එළියට යනවා, වචනයක් ඇහුණාම දූවලා ඇවිත් මයික් එක ඔබලා ගෙයි මැද සාලේ වගේ කෑ ගහනවා. මේ පාර්ලිමේන්තුව තුළ එහෙම වෙන්න දෙන්න බැහැ. පුරවැසියන්ගේ ගෞරවය මේ සභාව තුළ රැකිය යුතුයි. මේ පාර්ලිමේන්තුවට එන්නේ උගත් අය. ඒ අය හැසිරෙන්න ඕන විදිය දන්නවානේ. ඒ නිසා වරදක් කළා නම් දඬුවම් දෙන්නම ඕන.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT