Saturday, May 10, 2025
Home » කෝටිපති එළවළු ගොවියාගේ නිවසට පැන කෝටි 1 1/2ක රන්-මුදල් කොල්ල කාලා

කෝටිපති එළවළු ගොවියාගේ නිවසට පැන කෝටි 1 1/2ක රන්-මුදල් කොල්ල කාලා

by sachintha
December 4, 2023 1:00 am 0 comment

මරණ තර්ජන කර සේප්පුව බලෙන් ඇරවා ගෙන

නොරෝච්චෝල නාවක්කකඩුව කොලනිය ප්‍රදේශයෙ කෝටිපති එළවළු වගාකරුවකු හා ව්‍යාපාරිකයකු ලෙස ප්‍රසිද්ධ අයකුගේ නිවසට පෙරේදා (2) අලුයම කඩා වැදුණු ආයුධ සන්නද්ධ සොරුන් කණ්ඩායමක් රුපියල් ලක්ෂ 150කට ආසන්න රන් හා මුදල් සොරා ගෙන ගොස් ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි.

පිස්තෝල හා තියුණු ආයුධ පෙන්වා 2වන දින අලුයම නාවක්කාඩු කොලනිය ගම්මානයෙ අදාළ ව්‍යාපාරීකයාගේ නිවසට කඩා වැදුණු මෙම සන්නද්ධ කල්ලිය නිවසේ ව්‍යාපාරිකයා ඇතුළු පිරිස පළමුව සිය ග්‍රහණයට ගෙන ඇති බව කියයි.

ඉන් අනතුරුව කෝටිපතියා හා බිරිය දරුවන් මරා දමන බවට බිය ගන්වා එළවළු වගා කරනු ලබන කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසේ තිබු සේප්පුව බලහත්කාරයෙන් ඉබි යතුරුවලින් විවෘත කරවාගෙන ඇති බව මුලික පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ.

ඉන් පසුව එහි තැම්පත් කර තිබු පවුම් 70කට ආසන්න රන් ආභරණ තොගයක් හා ලක්ෂ 30කට ආසන්න මුදල් සියල්ලම පැහැර ගෙන ගොස් ඇති බව කියයි.

සොරා ගෙන ඇති රන් පවුම් තොගයෙ වටිනාකම රුපියල් ලක්ෂ 120කට ආසන්න බව කියයි.

කෙසේ නමුත් අදාළ මුදල් හා රන් ආභරණ හා මුදල් සොරා ගත් මෙම කොල්ල කල්ලිය පලා ගොස් ඇත්තේ අතුරු මාර්ගවලින් බව පොලිස් පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

අදාළ කොල්ල කෑම සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා නොරෝච්චෝල පොලිසිය සමඟ කල්පිටිය පොලිසිය එක්ව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඒ සමඟම පොලිස් අපරාධ ස්ථානීය පරික්ෂණ නිලධාරීන් සමඟ පොලිස් ඇඟිලි සලකුණු නිලධාරීන් ඇතුළු කණ්ඩායම් රැසක් පරීක්ෂණ සඳහා එක්ව තිබේ.

කෙසේ නමුත් මෙම කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසේ CCTV කැමරා පද්ධති නොමැති විම හේතුවෙන් ආසන්නයෙ නිවෙස්වල හා මාර්ගවල සියලුම කැමරා පද්ධති පරීක්ෂා කිරීමට පොලිස් කණ්ඩායම් කටයුතු කර ඇති බව කියයි.

මෙම සොරකම පිළිබඳව පොලිස් කණ්ඩායම් කිපයක් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි.

පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ, කල්පිටිය කුමාරි පද්මලතා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT