Home » වාසල හා වළගම්බා විදුලි මාරයාට බිලි

වාසල හා වළගම්බා විදුලි මාරයාට බිලි

by sachintha
December 4, 2023 1:00 am 0 comment

කරුවලගස්වැව, තේවනුවර, තබ්බෝව ප්‍රදේශයේ ඉඩමක් වටා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලුණු වාසල හා වළගම්බා නමින් හැඳින්වෙන සද්දන්ත ඇතුන් දෙදෙනාගෙ සිරුරු සොයා ගත් බව කරුවලගස්වැව පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස අනවසර විදුලි රැහැනක පැටලී මරණයට පත්ව ඇත්තේ මෙම ප්‍රදේශ වල සැරිසරමින් සිටි වාසල හා වළගම්බා නමින් ජනතාව හඳුන්වන අවුරුදු 35ත් 40ත් අතර වයස් වල පසු වූ ඇතුන් දෙදෙනෙකි. මෙම හස්තීන් දෙදෙනාම අක්කර 7ක පමණ විශාල ඉඩමක් වටා ඇද තිබූ විදුලි රැහැන් වල පැටලී මරණයට පත්ව ඇත.

කෙසේ වෙතත් වාසල නමින් හඳුන්වන හස්තියා ඊයේ (03) අලුයම මෙම අනවසර විදුලි රැහැනේ පැටලී මරණයට පත්ව සිටි බවත් වළගම්බා නමින් හැඳින්වෙන හස්තියා එම ඉඩමේ කෙළවරක කැලෑ සහිත ප්‍රදේශයක දී විදුලි රැහැනේ පැටලී මරණයට පත්ව සිටිය දී සොයා ගැනීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබූ බවත් කරුවලගස්වැව වනජීවි නිලධාරීහු පවසති.

නිරන්තර අලි මිනිස් ගැටුමට මැදිව ඇති තේවනුවර ගම්මානයේ දරුණු ලෙස අලි මිනිස් ගැටුම උග්‍ර වී ඇති අතර ගෙවී ගිය සතියේ අවුරුදු 70ක පමණ වයසැති තිදරු පියකු වල් අලි පහර දීමෙන් මරණයට පත්ව තිබුණි. වල් අලි කඩා වැදී සිදු කරන හානි වළක්වා ගැනීමට තේවනුවර ගම්මානයේ නිවැසියන් තම ඉඩම් වටා ආරක්ෂිත විදුලි අලි වැට සකස් කරමින් තම ජීවිත හා වගා බිම් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බව ගම්වාසීහු පවසති. නමුත් එම විදුලි අලි වැටවල් බහුතරයක් එම ජනතාව විසින් තමන්ගේ නිවෙස් වලින් විදුලිය ලබා ගනිමින් ඒ සදහා නිසි අවසරයක් පවා නොමැතිව සිදු කිරීමෙන් අලි මරණ ප්‍රමාණය ඉහළ ගොස් ඇත. කෙසේ නමුත් මේ අතර ඇතැම් පිරිස් නිසි ප්‍රමිතියෙන් යුතු විදුලි අලි වැටවල් සකසා ඇති බවත් එම විදුලි අලි වැටවල් වලින් ඉඩම් වලට ඇතුළු වීමට පැමිණෙන අලි ඇතුන් විදුලි සැර වැදී විසි වී යාමෙන් ජීවිත ආරක්ෂා වීම සිදුවන බවත් ගම්වාසීහු පවසති.

මෙම ඇතුන් දෙදෙනා මරණයට පත් ඉඩම වටා තිබූ විදුලි අලි වැට කිසිදු ප්‍රමිතියක් නොමැතිව නිවැසියන් හිතු මනාපයට සකසා ඇති බවත් නිවසට ලබාගෙන ඇති ප්‍රධාන විදුලි ධාරාවෙන් අලි වැටට විදුලිය ලබා දීමෙන් එම විදුලි සැර වැදී ඇතුන් දෙදෙනා මරණයට පත්ව ඇති බවත් මේ වන විට සිදු කළ පරීක්ෂණ වලදී තහවුරු වී ඇති බවත් කරුවලගස්වැව පොලිසිය පවසයි. විදුලි රැහැන් වල පැටලී අවාසනාවන්ත ලෙස මරණයට පත් වූ වාසල හා වළගම්බා නමින් හැඳින්වෙන ඇතුන් දෙදෙනා ද නිරන්තරයෙන් වගාබිම් වලට කඩා වැදී වනසන බවත් සවස 6.00න් පසු ගම්මානයට කඩා වැදී ජන ජීවිතයට බරපතළ පීඩාවන් ගෙන දී තිබූ බවත් ගම්වාසීහු පවසති.

නමුත් මෙලෙස සද්ධන්ත ඇතුන් මරණයට පත්වීම බරපතළ තත්ත්වයක් බව පරිසරවේදීහූ චෝදනා කරති.

මෙම කරුවලගස්වැව ඇත් ජාන සහිත කලාපයක් වන අතර එම කලාපයේ ඇතුන් ආරක්ෂා කිරීමට වනජීවි නිලධාරීන් මීට වඩා වැදගත් ක්‍රියාමාර්ග ගත යුතු බව ද පරිසරවේදීන් චෝදනා නගති. විදුලි රැහැනේ පැටලී මරණයට පත් වූ ඇතුන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතාගේ පැමිණීමෙන් පසු සිදු කිරීමට කටයුතු කරමින් පවතී. මෙම ඇතුන්ගේ මරණ සම්බන්ධයෙන් අදාළ ඉඩමේ හිමිකාරිය පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.

පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT