Friday, May 9, 2025
Home » හමුදා සෙබළකුගේ මරණ පරීක්ෂණයේ දී නිලධාරීන්ට බඹර ප්‍රහාරයක්

හමුදා සෙබළකුගේ මරණ පරීක්ෂණයේ දී නිලධාරීන්ට බඹර ප්‍රහාරයක්

by sachintha
December 4, 2023 1:00 am 0 comment

මාධ්‍යවේදියකු ඇතුළු පොලිස් නිලධාරීහු 3ක් රෝහලේ

සක්‍රීය සේවයේ නියුතු හමුදා සෙබළකුගේ මරණයක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතුවලට ගිය ගම්පොළ ස්ථානීය පරීක්ෂණාගාරයේ (සොකෝ) නිලධාරීන්ට පල්ලේ දෙල්තොට දී බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් මාධ්‍යවේදියෙකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකු ගලහා රෝහලට ඇතුළත් කර තිබේ.

මෙහිදී ගම්වාසීන් හය දෙනකුට ද මෙම ‍ බඹර ප්‍රහාරයට මුහුණ දීමට සිදුවී ඇත. මෙම සොකෝ කණ්ඩායම ගම්පොළ සිට පල්ලේ දෙල්තොට දක්වා ජීප් රථයෙන් ගොස් එතැන් සිට පාගමනින් හමුදා සෙබළාගේ නිවස දක්වා යමින් සිටියදී ඇවිස්සී සිටි බඹර ගහනයකට මැදිව තිබේ. ඉන්පසු බඹරුන්ගේ ප්‍රහාරයට ලක්ව ඇති මෙම පිරිස විවිධ පැතිවලට දිවගොස් ගම්මානයේ තිබෙන නිවෙස් තුළට ඇතුළු වෙමින් බේරී ඇති නමුත් ඒ වනවිටත් පිරිස සෑහෙන බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ.

මෙහිදී ගම්වාසීන් එක්ව දුම්ගසා බඹරුන් පලවා හැරීමට ද පියවර ගන්නා ලදී. මෙම පිරිසේ සිටි ස්ථානීය පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්පික විමලරත්න මහතා පමණක් බඹර ප්‍රහාරයෙන් බේරී ඇති අතර උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස් පොලිස් සැරයන්වරුන් වන රත්නායක හා ඉනෝකා උඩගෙදර යන අය හා මාධ්‍යවේදියා ගම්වාසීන් හා ගලහා පොලිසිය එක්ව බේරාගෙන රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.

මෙම ප්‍රදේශය තුළ ඊට පෙර දින ද (30 දින )ගම්වාසීන් දොළොස් දෙනෙක් බඹර ප්‍රහාරයට ලක්ව ප්‍රතිකාර ගත් බව ඔවුන් පැවසූහ. මියගොස් සිටි හමුදා සෙබළාගේ සිරුර නිවසේ මුලුතැන්ගේ එල්ලී තිබීම නිසා එය දිවි නසා ගැනීමක් ද වෙනත් හේතුවක් ද යන්න සොකෝ නිලධාරීන්ගේ පරීක්ෂණයේ අරමුණ වී තිබිණ. සෙනසුරාදා දින දවස පුරා ම බඹර ප්‍රහාරය නිසා එම පරීක්ෂණ සිදු කිරීමට නොහැකි වීමත් මළ සිරුර නිවසේ එල්ලී තිබීමත් නිසා රෝහලේ දී මූලික ප්‍රතිකාර ගැනීමෙන් පසු බඹර ප්‍රහාරයෙන් සිරුර ඉදිමී තිබියදීම මෙම පොලිස් නිලධාරීන් රෝහලින් පිටව එම ස්ථානයට ගොස් මළ සිරුරේ පරීක්ෂණ සිදු කර දීමට ද පියවර ගනු ලැබීය.

ගම්පොළ සමූහ – සුරංග දිල්හාන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT