Home » යුද-නාවික-හයිඩ්‍රාමනී ක්‍රීඩිකාවෝ පළමු දිනයේ ජය ලබති

යුද-නාවික-හයිඩ්‍රාමනී ක්‍රීඩිකාවෝ පළමු දිනයේ ජය ලබති

by sachintha
December 4, 2023 1:00 am 0 comment

ජාතික වොලිබෝල් ශූරතාවලිය

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මංචි අනුග්‍රහයෙන් සංවිධාන කරන 72 වැනි ජාතික වොලිබෝල් සුපර් ලීග් තරගාවලියේ කාන්තා තරග ආරම්භ කරමින් ඊයේ පැවති පළමු දිනයේ තරගවලින් ජයග්‍රහණ අත්කර ගැනීමට යුද හමුදාව, නාවික හමුදාව සහ හයිඩ්‍රාමනී කණ්ඩායම් සමත් විය.

ගාල්ල දඩැල්ල ජාතික වොලිබෝල් හවුස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ කාන්තා ශූරතාව ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් යුද හමුදාව හමුවේ ඔමේගා ලයින් ක්‍රීඩිකාවෝ 3-0කින් පරාජයට පත් විය.

පළමු භාගයේදී 25-15ක් ලෙස පෙරමුණ ගත් යුද හමුදා ක්‍රීඩිකාවෝ දෙවැනි වටය ද පළමු වටය මෙන් (25-15) නිමා කළහ. තෙවැනි වටයේදී 25-14ක් ලෙස තරග වට 3කින් නිමා කරමින් ජය තහවුරු කර ගැනීමට යුද හමුදාව සමත් විය.

මැලිබන් කණ්ඩායම සමඟ පැවති දෙවැනි තරගය 3-0කින් ජය ගැනීමට හයිඩ්‍රාමනී පිල සමත් වූ අතර, තරගයේ මුල සිටම සිය ආධිපත්‍ය පැතිරවූ එම ක්‍රීඩිකාවෝ පළමු වටය නිමා කළේ ලකුණු 25-14ක් ලෙසිනි. දෙවැනි වටයේදී යම් දුරකට අභියෝගයක් එල්ල කිරීමට මැලිබන් පිල සමත් වුවද 25-17ක් ලෙස එම වටය ජයගත් හයිඩ්‍රාමනී පිල තෙවැනි වටයේදී දැඩි ක්‍රීඩා විලාශයක නිරත වෙමින් 25-10ක් ලෙස තරගය නිමා කර ගත්තේය.

පළමු දිනයේ අවසන් තරගයෙන් මාස් කැෂුවලයින් පිල 3-0කින් පරාජය කිරීමට නාවික හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූහ. උණුසුම් මුහුණුවරක් ගත් එම තරගයේදී ලකුණු 25-20ක් ලෙස පළමු වටය ජයගත් නාවික හමුදා පිල දෙවැනි වටයේදී ලකුණු 25-16ක ජයක් වාර්තා කළහ. තෙවැනි වටයේදී යළිත් ක්‍රියාත්මක වෙමින් නාවික හමුදාවට අභියෝග කිරීමට මාෂ් ක්‍රීඩිකාවන් සමත් වුවද 25-20ක් ලෙස පරාජය වීමට ඔවුන්ට සිදු වූහ.

අඛණ්ඩව 17 වැනි වරටත් මංචි අනුග්‍රහයෙන් පැවැත්වෙන මේ ශූරතාවලියේ කාන්තා තරගවල දෙවැනි දිනය වන අද (4) යුද හමුදාව – මැලිබන් (පෙ.ව. 9.00), ඔමේගා ලයින් – හයිඩ්‍රාමනී (පෙ.ව. 11.30) සහ මාෂ් කැෂුවලයින් – ගුවන් හමුදාව (ප.ව. 2.00) තරග වැදීමට නියමිතය.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT