Home » අකිලගෙන් සුපිරි පන්දු යැවීමක්

අකිලගෙන් සුපිරි පන්දු යැවීමක්

by sachintha
December 4, 2023 12:05 am 0 comment

ලකුණු 156කට කඩුලු 15ක් බිඳ දැමූ පිට දඟ පන්දු යවන අකිල ධනංජයගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ පළමු පෙළ තුන්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් සතිය යටතේ පැවති තරගයකින් රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 7ක ජයක් හිමි කර ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සමත් විය.

ඊයේ මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී නිමා වූ මේ තරගයේ රාගම ක්‍රීඩා සමාජයේ පළමු ඉනිමේදී ලකුණු 100කට කඩුලු 6ක් බිඳ දැමූ 30 හැවිරිදි අකිල ධනංජය දෙවැනි ඉනිමේදී සිය හොඳම පළමු පෙළ පන්දු යැවීම වාර්තා කරමින් කඩුලු 9ක් බිඳ දැම්මේ ලකුණු 56ක් පමණක් ලබා දෙමිනි.

පළමු පෙළ ඉනිමකදී කඩුලු 5 සීමාව පසු කළ 17 වැනි අවස්ථාව ඊයේ සටහන් කළ අකිල තරගයකදී කඩුලු 10 ඉක්මවා ගියේ තෙවැනි වරටය. ඔහු මින් පෙර ද තරගයකදී කඩුලු 15ක් බිඳ හෙළා තිබූ අතර, ඒ ලකුණු 135ක් පමණක් ලබා දෙමිනි.

මේ තරගයේදී රාගම පළමු ඉනිම ලකුණු 231කට සීමා කළ කෝල්ට්ස් ක්‍රීඩකයෝ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 334ක් රැස් කිරීමට සමත් වූහ. ලකුණු 103ක් පසුපිසන් දෙවැනි ඉනිම ඇරඹූ රාගම පිල ලකුණු 142කට දැවී ගියේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට ලකුණු 40ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දෙමිනි.

ඊයේ තරගයේදී ‘ඒ’ කාණ්ඩයෙන් තරග කළ කෝල්ට්ස් පිල වාර්තා කළේ සිවුවැනි ජයග්‍රහණය වන අතර, ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය (99.89) හිමි වීමෙන් මේ තරගාවලියේ අවසන් මහා තරගයට එක් වීමේ අවස්ථාව අහිමි වී ගියහ. එම කාණ්ඩයෙන් තරග කළ එස්එස්සී පිල ඊයේ තරගය ජය පරාජයෙන් තොරව නිමා කළ අතර, ජයග්‍රහණ 3ක්, ජය පරාජයෙන් තොර තරග 6ක් සහ විසඳුමකින් තොර තරගක් සමඟ ප්‍රසාද ලකුණු 109.145ක් සමඟින් එම කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අවසන් තරගයට පිවිසියේය. කෝල්ට්ස් පිල එක් තරගයක් පරාජය වී තිබිණි.

මේ අතර ‘බී’ කාණ්ඩය යටතේ කුරුණෑගල යූත් පිල සමඟ පැවති තරගය ජය පරාජයෙන් තොරව නිමා කරගත් පොලිස් ක්‍රීඩා සමාජය ද අවසන් තරගයේ ස්ථානයක් වෙන් කර ගත්තේය.

අවසන් සතිය යටතේ පැවති තරගයකදී මුවර්ස් පිල ලකුණු 83කින් සෙබස්තියනයිට්ස් පිල පරාජය කළ අතර, සෙසු තරග ජය පරාජයෙන් තොරව නිමා විය.

තරගාවලියේ මූලික වටය අවසානයේ ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩවල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් කණ්ඩායම් දෙක අවසන් තරගයට පිවිසි බැවින් එස්එස්සී සහ පොලිසිය එම තරගයට එක් වූ අතර, සිවුදින තරගයක් ලෙස එම අවසන් තරගය මේ 7 වැනිදා එන්සීසී පිටියේදී ආරම්භ වීමට නියමිතය.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT