මියගිය අය මැරතන් ධාවන තරගයකට එක් වූ අවස්ථාවක්.
පෞද්ගලික ආරවුලකට පළි ගැනීමේ අදහසින් පසුගියදා (28) කැලණිය වනවාසල දුම්රිය මාර්ගයට යාබද ස්ථානයක දී අමානුෂික අන්දමින් කපා කොටා ඝාතනය කළ වනවාසල පදිංචි පනස් නම හැවිරිදි මැරතන් ධාවකයකු වන රණසිංහගේ සරත් නොහොත් රාජා නැමති අන්වර්ථ නමින් හැඳින් වූ පුද්ගලයාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මිනිස් ඝාතනයේ ප්‍රධාන සැකකරු කැලණිය මානෙල්ගම කසළ අංගණය තුළ සැඟව සිටින බවට පෑලියගොඩ පොලිසියේ කොට්ඨාශ බුද්ධි අංශ නිලධාරී 96863 ධනංජය මහතාට ලද තොරතුරකට අනුව පළමු වනදා දහවල් පොලිසිය කසළ අංගණය පීරමින් සිදුකළ වැටලීමකින් පසු ප්‍රධාන සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් පසුව අනෙක් සැකකරුවන් තිදෙනා ද පොලිස් භාරයට ගැනීමට හැකි වී තිබේ. මෙම මිනිස් ඝාතනයට යොදාගෙන තිබූ අඩි දෙකහමාරට වැඩිය දිගින් යුත් විශාල ප්‍රමාණයේ කඩුවක් සහ තවත් කඩු දෙකක් පෑලියගොඩ කේ. ජී. පීරිස් මාවතේ පාළුවට ගිය නිවසක සඟවා තිබිය දී ප්‍රධාන සැකකරු ගෙන් ලබාගත් තොරතුරු අනුව පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෙම ඝාතනය සිදු කිරීමට ප්‍රධාන සැකකරුට සහාය දුන් තවත් සැකකරුවන් තිදෙනෙකු ද පළමු වනදා දහවල් පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි.
කලක පටන් මෙම දෙපාර්ශ්වය අතර පැවති ආරවුලක් මත මෙම ඝාතනය සිදු කර ඇතැයි මෙතෙක් සිදු කළ විමර්ශන වලින් පොලිසිය අනාවරණය කර ගෙන තිබේ. මත්ද්‍රව්‍ය මූලික කරගත් සිද්ධියක් මෙම මිනිස් ඝාතනය හේතු වන්නට ඇතැයි සැකකරන පොලිසිය අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇත.
පෑලියගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයලත් මහතාගේ උපදෙස් මත උපපොලිස් පරීක්ෂක වරුන්වන විමුක්ති, සමරවීර, පොලිස් සැරයන් වරුන් වන 27267 අනුරාධ, 47567 එදිරිමාන්න, 70034 සංජය, පොලිස්කොස්තාපල් වරුන් වන 103312 ජනිත්, කාන්තා පොලිස් කොස්තාපල් 9608 මධුමාලී යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත. සැකකරුවන් කොළඹ අළුත්කඩේ අංක පහ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
කැලණිය – කේ. එස්. හැන්නදි