Home » ශ්‍රී ලංකාවට සෑම අතින්ම සහාය දීමට කැප වෙනවා යුරෝපා සංගමයේ තානාපති කාමන් මොරේනෝ

ශ්‍රී ලංකාවට සෑම අතින්ම සහාය දීමට කැප වෙනවා යුරෝපා සංගමයේ තානාපති කාමන් මොරේනෝ

by sachintha
December 5, 2023 1:28 am 0 comment

ශ්‍රී ලංකාවට සෑම අතින්ම සහාය දැක්වීමට යුරෝපා සංගමය කැප වන බව යුරෝපා සංගමයේ තානාපති කාමන් මොරේනෝ මහත්මිය පැවැසූවාය. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ යුරෝපා සංගමයේ තානාපති කාමන් මොරේනෝ (Carmen Moreno) මහත්මිය අතර අරලියගහ මන්දිරයේ ඉකුත් 01 වැනිදා පැවති හමුවේදී ඇය එසේ කීවාය.

ශ්‍රී ලංකාව මුහුණදුන් දුෂ්කර කාල පරිච්ඡේදයේදී යුරෝපා සංගමය දුන් අගනා සහාය වෙනුවෙන් මෙහිදී අගමැතිවරයා කෘතවේදිත්වය පළ කළේය.
දශක ගණනාවක් පුරා යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර පවතින දැඩි සබඳතාව සහ යුරෝපා වෙළෙඳපොළට ශ්‍රී ලංකා අපනයන සඳහා ජී.එස්.පී. ප්ලස් පහසුකම හරහා දුන් සහන අගමැතිවරයා සිහිපත් කළේය. යුරෝපා සංගමයේ රටවලට නිමි ද්‍රව්‍ය සහ කෘෂිකාර්මික නිෂ්පාදන යුරෝපා සංගම් වෙළෙඳපොළට අපනයනය කිරීමේ හැකියාව පිළිබඳව ද අගමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍ර සංවර්ධනයට යුරෝපා සංගමයේ රටවල විශ්වවිද්‍යාල සමඟ ඇති සහයෝගිතාව ද මේ හමුවේදී සැලකිල්ලට ලක් කළ අතර, යුරෝපා සංගමයේ විශ්වවිද්‍යාල සමඟ සබඳතා වැඩි දියුණු කිරීමට සිය සහයෝගීතාව දෙන බවද තානාපතිවරිය ප්‍රකාශ කළාය.

යුරෝපා සංගම් ගෝලීය ප්‍රවේශ උපාය මාර්ගය මඟින් දිරිමත් කළ හැකි සහාය යටිතල පහසුකම් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයෝජන, හරිත බලශක්තිය, තිරසර සංවර්ධනය සඳහා අධ්‍යාපනය සහ පර්යේෂණ හරිත සංක්‍රාන්තිය, ඩිජිටල්කරණය, සම්බන්ධතාව, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ පර්යේෂණ සහ නවෝත්පාදන සඳහා ආයෝජන ආශ්‍රිත ණය දීමේදී යුරෝපා ආයෝජන බැංකුව සමඟ ඇති කර ගත හැකි හවුල්කාරීත්වය ද මේ හමුවේදී දැඩි අවධානයට ලක් විය.

මේ අවස්ථාවට යුරෝපා සංගමයේ දූත පිරිසේ නියෝජ්‍ය ප්‍රධානී ලාස් බ්‍රිඩල්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, අගමැති උපදේශක සුසිරිපාල තෙන්නකෝන් මහත්වරු ද එක්ව සිටියහ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT