COP 28 සමුළුවට ‘නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම’ ඉදිරිපත් කරමින් ජනපති කියයි
ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ අභියෝගයට මුහුණ දීම සහ නිවර්තන කලාපීය ජාතීන් සඳහා තිරසර සංවර්ධනයක් සහතික කිරීම අරමුණු කර ගත් අනාගතවාදී වැඩපිළිවෙළක් වන ‘නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම’ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා COP 28 සමුළුවට පසුගිය 02 වැනිදා ඉදිරිපත් කළේය.
දේශගුණික අරමුදල්වල ආකෘතිමය වෙනසක් සහ ඵලදායී ප්‍රතිඵල අත්කර ගැනීමට බහු – පාර්ශ්වික ප්‍රවේශයක අවශ්‍යතාව මේ සැලැස්ම කඩිනම් කිරීමට හේතු වූ බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
2030 වන විට ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම පාලනය කිරීමේ ඉලක්කය ඉටු කර ගැනීමේ අවිනිශ්චිතතා පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශනය ආරම්භ කළේය. මේ තීරණාත්මක ඉලක්කය සපුරා ගැනීම සඳහා ඇති 50%ක අවස්ථාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා අනෙකුත් රටවලින් මූල්‍යාධාර ලැබීම අපේක්ෂා කළ නොහැකි බව ද කියා සිටියේය.
එබැවින් මේ අරමුදල් සපයා ගැනීමට නිවර්තන සහ නිවර්තන නොවන රටවල් මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශය අතර, සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම, වනාන්තර, වගුරු බිම් සහ කඩොලාන වැනි අත්‍යවශ්‍ය ස්වාභාවික සම්පත් කේන්ද්‍ර කර ගත් ආයෝජන ආකර්ෂණය කර ගැනීම ඉලක්ක කර ඇති බවත්, ගෝලීය උණුසුම ඉහළ යෑමට එරෙහිව සටන් කිරීමට මේ ආයෝජන අත්‍යවශ්‍ය බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේදී වාර්ෂිකව වැය කරන ඩොලර් ට්‍රිලියන ගණනක මුදල් ඉතිරි කර ගැනීමට මෙයින් හැකියාව ලැබෙනු ඇති බව ද පැවැසූ ජනාධිපතිවරයා පෞද්ගලික අංශයේ දායක්තවය ද මේ සඳහා ගැනීමේ හැකියාව ද පෙන්වා දුන්නේය.
නීල ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සහ තිරසර ඉන්දියානු සාගරයක් නිර්මාණය කිරීම සඳහා ඉන්දියානු සාගර වට අද්දර සංගමය සමඟ සහයෝගිතාවයෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද පැහැදිලි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම සහ තිරසර ඉන්දියන් සාගරයක් පිළිබඳ ප්රයත්නයන් ලොව විශාලතම කාබන් අවශෝෂකය නිර්මාණය කරනු ඇති බව ද සඳහන් කළේය.
මාලදිවයින, කෙන්යාව, බ්‍රසීලය රටවල ජනාධිපතිවරුන් මෙන්ම එමානුවෙල් සහ ප්‍රංශ ජනපති මැක්රොන් ඇතුළු ලෝක නායකයන් සමඟ සිදු කළ සාකච්ඡාවලදී ඔවුන් මේ වැඩපිළිවෙළ පිළිබඳ දැඩි උනන්දුවක් දැක් වූ බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට විද්වත් කමිටුවක් පත් කිරීමටත්, එම කමිටුවේ සොයා ගැනීම් බ්‍රසීලයේ COP30 හි ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට යෝජිත දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය (ICCU) සඳහා වන සැලැස්ම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී එළිදක්වනු ලැබීය. මේ විශ්වවිද්‍යාලයේ අරමුණ වන්නේ දේශගුණක විපර්යාස මැඬපැවැත්වීම කෙරෙහි ධාරිතා ගොඩනැංවීම සහ මධ්‍යගත පර්යේෂණ සඳහා අවකාශ සැලසීමයි.
දේශගුණික විපර්යාස අවම කරගැනීමට අවශ්‍ය අරමුදල් ඒකරාශී කරගැනීමට සාම්ප්‍රදායික චින්තනයෙන් මිදීමේ අවශ්‍යතාව ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා මේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය මඟ පෙන්වනු ඇති බව ද සඳහන් කළේය.
ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් මහතා ද මේ අවස්ථාවට සහභාගි වූ අතර, දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය පිහිටුවීමට ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට ප්‍රශංසාව පළ කළ මැල්කම් ටර්න්බුල් මහතා ඉන්දියානු සාගර කලාපය ආරක්ෂා කර ගැනීම එම රටවල් ඉදිරියේ ඇති විශාලතම අභියෝගය බව ද පැවැසීය.