Home » අස්වැසුම ප්‍රතිලාභීන්ට මුදා හරියි – පවුල් ලක්ෂ 14කට ප්‍රතිලාභ
කෝටි 877ක් අද

අස්වැසුම ප්‍රතිලාභීන්ට මුදා හරියි – පවුල් ලක්ෂ 14කට ප්‍රතිලාභ

by sachintha
December 5, 2023 1:03 am 0 comment

“අස්වැසුම” යෝජනා ක්‍රමයේ ඔක්තෝබර් මාසයට අදාළ මුදල් වාරික අද (05) සිට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත නිකුත් කිරීමට පියවර ගෙන තිබෙන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ඒ අනුව එම ප්‍රතිලාභ ගෙවීම සඳහා රුපියල් කෝටි 877ක (රුපියල් මිලියන 8,775) මුදලක් ඊයේ (04) දිනයේ බැංකු වෙත මුදාහැරීමට මහා භාණ්ඩාගාරය පියවර ගෙන තිබෙන අතර, එම මුදල් අද සිට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත නිකුත් කිරීමට පියවර ගෙන තිබෙන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ‘දිනමිණ’ ට පැවැසීය. මෙම වාරික මුදල් ප්‍රතිලාභී පවුල් 1,406,932ක් වෙනුවෙන් ලබාදෙන බව පෙන්වා දෙන ඇමැතිවරයා එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත වාරික මුදල් කඩිනමින් බැර කිරීමට පියවර ගෙන තිබෙන බව ද ඒ අනුව ඔවුන්ට අද දිනයේ සිට අස්වැසුම ප්‍රතිලාභී මුදල් ලබාගැනීමේ හැකියාව පවතින බව ද ප්‍රකාශ කළේය.

මේ අතර නොවැම්බර් සහ දෙසැම්බර් වාරික මේ වසර අවසානයට පෙර ප්‍රතිලාභීන් වෙත ගෙවා අවසන් කරන බව ද ඊට අමතරව නව අයදුම්පත් කැඳවීම ද මේ මස ආරම්භ කරන බව ද මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

සංක්‍රාන්තික කාණ්ඩය යටතේ පවුල් 209,225කට, අවදානමට ලක් වූ කාණ්ඩය යටතේ පවුල් 290,070කට, දිළිඳු කාණ්ඩය යටතේ පවුල් 605,379කට සහ අන්ත දිළිඳු කාණ්ඩය යටතේ පවුල් 302,258කට මෙවර ප්‍රතිලාභ හිමිවන බව පවසන මුදල් රාජ්‍ය ඇමැතිවරයා අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අවසන් වූ පසු තෝරා ගන්නා ප්‍රතිලාභීන්ට ජූලි මාසයේ සිට හිමිවිය යුතු ප්‍රතිලාභ මුදල් ගෙවීමට කටයුතු කරන බව ද කියා සිටී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සෑම මාස හයකට වරක් අස්වැසුම සමාලෝචන කටයුතු සිදුකරන බව පවසන ශෙහාන් සේමසිංහ මහතා මීට අමතරව වැඩිහිටි, වකුගඩු සහ අබාධිත දීමනා හිඟ මුදල් ද ගෙවීමට පියවර ගෙන තිබෙන බව සඳහන් කරයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT