දිවයිනේ දුෂ්කර, අතිදුෂ්කර සහ හුදෙකලා ප්‍රදේශවල සිසු දරු දැරියන්, තෝරාගත් පිරිවෙන් භික්ෂූන් වහන්සේලා, සිල්මාතාවන් 747093 දෙනකු සඳහා රුපියල් 3000ක වටිනා පාවහන් වව්චර්පත් ලබාදීමට රුපියල් මිලියන 2,200ක මුදලක් අධ්‍යාපන අමාත්‍යාංශය වැය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචිය ලත් වෙළඳසල් වෙතින් සිසුන්ට පාවහන් ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබෙන අතර, මේ සම්බන්ධව මවුපියන් සහ සිසුන් දැනුම්වත් කිරීම වෙනුවෙන් අදාළ උපදෙස් පළාත්, කලාප හා කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර තිබේ. මීට අදාළ චක්‍රලේඛයක් ද අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාසල් වෙත නිකුත් කර ඇත.
එළඹෙන පෙබරවාරි මස 19 වැනි දින 2024 නව පාසල් වාරය ආරම්භ කෙරෙන බවත් ඊට පෙර සිසු දරුවන්ට නිල ඇඳුම්, පෙළපොත් සහ තෝරාගත් පාසල් මෙන්ම පිරිවෙන් සිසුන් වෙත පාවහන් ලබා දී අවසන් කරන බවත් අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෝදර ශාන්ත ජෝන් විද්‍යාලයේ සිසුන්ට පාවහන් තිළිණ පත් බෙදාදීම වෙනුවෙන් ඊයේ (04) පැවති උත්සවයේ දී පැවසුවේය.
එළඹෙන වසරේ දී පාවහන් තිළිණපත් ලබා දෙන සිසුන් සංඛ්‍යාව ලක්ෂ 10ක් දක්වා වැඩි කිරීමට තමා අපේක්ෂා කරන බව ද සඳහන් කළ අමාත්‍යවරයා, අපේ රට පමණක් නොව ලොව බොහෝ රටවල් අභියෝග රැසකට මුහුණ දී සිටින මෙවන් සමයක රජයක් වශයෙන් ප්‍රමුඛතා හඳුනා ගනිමින් කටයුතු කරන්නට සිදුව ඇති බව ද අවධාරණය කළේය.
පාසල් දරුවන්ට පෙළපොත්, නිල ඇඳුම්, දිවා ආහාර සහ පාවහන් ලබාදීම දරුවන් වෙනුවෙන් හඳුනාගත් ප්‍රමුඛතා අතර පවතින බවත්, ඇතැම් පාර්ශ්ව විසින් ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමේ ඉල්ලීම් සිදුකරන අතර ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට තමා යෝජනා කර ඇති බවත්, එහෙත් ඒ වෙනුවෙන් ප්‍රමුඛතාව දෙන්නේ නම් පවත්නා ආර්ථික වාතාවරණය හමුවේ දරුවන් වෙනුවෙන් හඳුනාගත් ප්‍රමුඛතා ඉටුකිරීමට අසීරු වන බව ද හෙතෙම කීවේය.
මෙම දෙසැම්බර් මස 22 වැනි දින පාසල් නිවාඩුව ලබා දුන් පසු නැවත පෙබරවාරි මස 02 වැනි දින සියලු පාසල් ඇරඹෙන අතර මෙරට සිසු දරුවන්ගේ පාසල් පැමිණීම අඛණ්ඩව හා සක්‍රියව පවත්වා ගෙනයාම වෙනුවෙන් ආර්ථික අභියෝග රැසක් මධ්‍යයේ වුව ද රජය අධ්‍යාපනයට ප්‍රමුඛස්ථානය දෙමින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අවස්ථාවට අධ්‍යාපන ලේකම් එම්.එන්. රණසිංහ මහතා, බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ.ජී. නිමල් ජයවීර මහතා, මෝදර ශාන්ත ජෝන් විද්‍යාලයේ විදුහල්පතිනි ඩබ්.පී.ආර්. රාජරත්න මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.
සන්ධ්‍යා කරුණාරත්න