Home » අග්බෝගේ ජීවිතය නැවතත් අවදානමක

අග්බෝගේ ජීවිතය නැවතත් අවදානමක

by chanaka
December 5, 2023 3:49 pm 0 comment

බරපතල තුවාල ලබා සිට සුවය ලැබූ අග්බෝ ඇතු ගම්වැදීමට හුරු වීමෙන්, නැවතත් අග්බෝගේ ජීවිතය අවදානමකට ලක් වී ඇතැයි තිරප්පනය ප්‍රදේශවාසීන් පවසති. එබැවින් අග්බෝ ඇතු ආරක්ෂිත ප්‍රදේශයකට රැගෙන යන ලෙස ඔවුන් ඉල්ලා සිටි.

අග්බෝ ඇතුගෙන් තමන්ට සිදුවන පීඩන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා දැනුම්වත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කළ අතර, ඒ අනුව මේ පිළිබඳ සොයා බැලීමට දුමින්ද දිසානායක මහතා එම ගම්මානය වෙත ඊයේ (04) පැමිණියේය.

එහිදී ප්‍රදේශවාසීන් තමන් මුහුණ දෙන ගැටලුව සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා දැනුම්වත් කරනු ලැබීය.අනතුරුව අග්බෝ සිදු කළ වගා හා දේපළ හානීද දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

ඉදිරිපස වම් පාදනයට බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලබා අසාධ්‍යයව සිටි අග්බෝ ඇතුට මාස 04 කට ආසන්න කාළයක් වනජීවී දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් ප්‍රථිකාර ලබා දීමෙන් අනතුරුව, අග්බෝ මේ වන විට සුව අතට හැරී ඔහුගේ සුපුරුදු ජීවන රටාවට හුරු වී ඇත.

අග්බෝ සුවපත් කර ගැනීමට වනජීවී පශු වෛද්‍යවරුන් හා වනජීවී නිළධාරීන් දිවා රෑ නොබලා, ජීවිත අවදානම්ද නොතකමින් දින 100 කට ආසන්න කාළයක් අඛණ්ඩව ප්‍රථිකාර කටයුතු සිදු කරනු ලැබීය. අග්බෝ ඇතුගේ පාදයේ තුවාලය ඉතා අසාධ්‍ය තත්වයේ පැවතීම හේතුවෙන් ස්කෑන් පරීක්ෂණ, රුධිර පරීක්ෂණ සිදු කරමින් දෛනිකව ඖෂධ මෙන්ම ආහාර ලබා දෙමින් දින 100 කට ආසන්න කාළයක් අග්බෝ පසු පසම රැදෙමින් අග්බෝ සුවපත් කිරීමේ මෙහෙයුම දියත් කරනු ලැබීය.ඒ අනුව අග්බෝ සුවය ලැබීමෙන් අනතුරුව ඔහුට වනජීවී නිළධාරීන් විසින් ආහාර ලබා දීම නවතා දමා ඔහුගේ සුපුරුදු ජීවන රටාවට හුරු කරමින් ඔහු වනයට හුරු කිරීමේ අරමුණෙනි.නමුත් අග්බෝ වනයට නොයා ආහාර ලබා ගැනීමට මිනිස් වාස භූමි කරා පැමිණිම හේතුවෙන් වනජීවී නිළධාරීන්ටද අග්බෝ වෙනුවෙන් මුර සංචාරයන් යෙදවීමට තවමත් සිදු ව ඇත.

වෛද්‍ය නිර්දේශ අනුව අග්බෝට ප්‍රථිකාර සිදු කරන කාළය තුළ වට්ටක්කා වැනි එළවලු, කොමඩු වැනි පළතරු, ගොයම් වර්ග හා තෘණ වර්ග දිනකට කිලෝ ග්‍රෑම් 250 -300 ක් අතර ප්‍රමාණයක් ලබා දී ඇති අතර, මේ වන විටද එම ප්‍රමාණයම ආහාරයට ගනිමින් අග්බෝ තිරප්පනය, අලිස්ථානය, ඇතුන්ගම, දිවුල්වැව ආදී ගම්මාන රැසක සැරි සරමින් ගෙවතු වල ඇති කෙසෙල්, අඹ, මඤ්ඤොක්කා ආදිය ආහාරයට ගන්නා බවත්, ආහාර සොයා නිවාස කීපයක්ද බිඳ දමා ඇති බවත් ප්‍රදේශවාසීන් පවසති.

පාදයේ තුවාලය හේතුවෙන් ඇවිදීමට අපහසුවෙන් සිටි අග්බෝ මේ වන විට රාත්‍රියට කිලෝ මීටර 10 ක් පමණ දුර ගෙවමින් ආහාර සොයා ගම්වදින බවත්, එසේ ගම්වැදී වගාවන් මෙන්ම නිවාසයන්ද රැසක් මේ වන විට හානි කර ඇති බවත් ඔවුන් පවසති.ඒ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ මෙන්ම අග්බෝ ඇතාගේ ආරක්ෂාවට ගැටලුවක් මතුව ඇතැයි ප්‍රදේශවාසීන් පවසති.

අග්බෝ ඇතු දෛනිකව ගම්වැදීම හේතුවෙන් අග්බෝ එළවා දැමීමට වනජීවී නිළධාරීන්ටද දෛනිකව අලි වෙඩි 200-300 ක් පමණ පාවිච්චි කිරීමට සිදු වන බවත්, වනජීවී නිළධාරීන්ගේ ජීවිතද අග්බෝ නිසා අවධානමකට පත්ව ඇති බවද ප්‍රදේශවාසීන් පවසති.අග්බෝ ගම්වැදීමෙන් මිනිස් ජීවිතයකට හෝ අග්බෝට හානියක් සිදු වීමට පෙර අග්බෝ ආරක්ෂිත වනයකට රැගෙන ගොස් මුදා හරින ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිති.ඒ අනුව දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් ඇතුළු නිළධාරීන් කීපදෙනෙකුට පවතින තත්වය සම්බන්ධයෙන් දැනුම්වත් කළ අතර, මිනිසුන්ගෙන් අග්බෝ ඇතුට හෝ, අග්බෝ ඇතුගෙන් මිනිස් ජීවිතයකට හානියක් වීමට ප්‍රථම මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගන්නා ලෙස උපදෙස් ලබා දුන්හ.

ඒ අනුව මෙම සතිය තුළ මේ සඳහා ස්ථිර විසදුමක් ලබා දෙන බවට ඔවුන් පොරොන්දු විය.

(තිසර සමල් – අනුරාධපුර)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT