Home » උත්තර රස වින්දනයක් උදෙසා සුමින්ද

උත්තර රස වින්දනයක් උදෙසා සුමින්ද

by sachintha
December 5, 2023 1:00 am 0 comment

මිජවුම් සුළි කුණාටුව ඊයේ උදෑසනම විලාප නඟා පැමිණියා සේය. වැහි බර අහස මූසල දවසක් ගෙන එන්නේ සමහරක් අසුබ සිද්ධි සඳහා වන පළමු පණිවුඩකරුවා ලෙසිනි. සුමින්ද සිරිසේනගේ වියෝව මේ රටේ නූතන කලා භාවිතය සම්බන්ධයෙන් ලිට්මස් පරීක්ෂාවක් වැන්න. හේ නියත ලෙසම රංග පෞරුෂයකි. වේදිකාවටත් වඩා ජනතාව ඔහුගේ රංගනය, වින්දනය කරන ලද්දේ සාලය මැද්දේ සිටය. මනෝරත්න, ජැක්සන් ඈ පරපුර කෙමෙන් කෙමෙන් නික්ම යද්දී සුමින්ද වැන්නෝ ද තිරය වසා දැමීම අපට ශෝකාකූල වන්නේය.

වයස හතළිහ පමණ ඉක්මවූ පරපුර පමණක් සුමින්ද සිරිසේනගේ සමුගැනීම හදවතට ගනිද්දී, මේ රටේ හැදීගෙන එන පරපුරට ඒ පිළිබඳව එහෙමට දුකක් නූපන්නේය. මේ වනාහි සුමින්දගේ පරපුර ඊළඟ පරම්පරාව අත අසරණ වූ බවේ සංකේතය ද…? නැතහොත් ඒ කලා කෘති නූතන පරම්පරාවේ වින්දනීය අවකාශය සමඟ සම්‍යයක් වන්නේ නැතිද…? හැමදාමත් අප උඩ පැන පැන තළනවා සේ, මේ පරපුර වනාහි, කලා විහීනයෝද…? සුමින්ද ඇසුරේ මතක බණක් මහා සංඝයා තව දින කිහිපයකින් පවත්වනවා ඇත. අද මේ තීරුව සුමින්ද සිරිසේන විෂයයේ මතකාවර්ජනයක් සිදු කරන්නේය. එය හුදු සුමින්ද පමණක් නොව එම පරපුරේ ලකුණ දරන සියලු කලාභවතුන් අරභයා වන ඉරණම් කතාව වන්නේය.

කෑගල්ල, බොස්සැල්ල ගමෙන් හේ පහළට බහින්නේ දුම්රිය සේවය සඳහා එක්වීමටය. පසුව ප්‍රමාණ සමීක්ෂණ නිලධාරියෙක් ලෙස විදේශ සේවය සඳහා නික්ම යන්නේය. යළි ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වික්ටෝරියා වේල්ල ඉදිකිරීමේ කාර්ය සඳහා සහය වනු පිණිසය.

මේ කාලය වන විට චිත්‍රපටය කලාවේ දික් විජය කර ඇති හෙයින් සුමින්දගේ රංගනය දිග හැරෙන්නේ එතැනය. දුහුල් මලක්හි රංග කාර්යයට එක්වන විට ද ඔහු වේදිකාවට පැමිණ සිටියේ නමුදු, ජනකාන්තභාවයක් ඔහුට උදා වන්නේ රූපවාහිනි රංගනයෙන්ය. රූපවාහිනියේ ඔහුගේ ශක්‍යතාව දකින, ජනයා වේදිකාවේ ඔහුගේ තරම අවබෝධ කර ගන්නේය.

මෙය එක්තරා ආකාරයක ආපසු බලා යෑමකි. වෙනදා වේදිකාවේ රංගධරයා ප්‍රධාන වේ. මේ කාලය වනවිට වේදිකාව මහ පොළොවට බැස, වේදිකාවට ගොඩවී තිබුණේ රූපවාහිනියය. ඒ වෙනස මත්තේ සුමින්දගේ රංගනය ද දෝලනය විය. මේ පරපුරේ බොහෝ රංගවේදීන්, අධ්‍යක්ෂවරු ඔය ඉරණමේ උරුමකරුවෝ වූහ. සිනමාවේ සිට ආචාර්ය නිහාල්සිංහයෝ ද පුංචි තිරයට ආහ. වේදිකාවේ සිටි ජයන්ත චන්ද්‍රසිරි, අශෝක හඳගම, සෝමරත්න දිසානායක ආදීන් ද සාලයට ආගමනය කළහ. මේ මත්තේ වේදිකාව තනි විය. රඟහල අඩ අඳුරේ තබනවා කියන්නේ රංගනය කළුවරේය. ඒ සා විසල් රංගනයක් පහත මාලයට ගෙන ආවේ හිතා මතා නොවන්නට හැකිය. ඒවා සමාජ, ආර්ථික, දේශපාලන කාරණා විය හැක්කේ නමුදු, පරපුරක් සතු රසභාව කරන ලද්දේ එවැනි ‘ඉෂි’ වින්දන ආකෘතින් නිසාය.

වේදිකාව තනි වූ කළ ගාම්භීර රංගනය වෙනුවට සරල රංගන ආකෘතින් දිග හැරෙන්නට විය. ඒවා සොප් ඔපෙරා උදෙසා අවුලක් නැත්තේය. සමාජය කලඹන රංගවේදයක් ඒ මත්තේ නූපදින්නේය. ජනතාව ඒ මට්ටම හුරු කර ගත් වන, එතැනින් උඩහට ගැනීමට දුෂ්කර කාර්යයකි. සුමින්ද සිරිසේන වැන්නෝ පිළිබඳව හතළිහෙන් පහළ පරපුරේ ඇස් වැසුණේ, මේ අවුල කරණ කොටගෙනය. හැදෑරීම යනු ඇඟට ඇන කියා දීය යුත්තක් නොව, ඇතුළෙන්ම පැමිණිය යුත්තකි. මේ අවුල විසින් ඇතුළෙන්ම පැමිණිය යුත්ත ලෙස ආවේ සරල ආකාරය මිස, ගැඹුරු ආඛ්‍යානයක් හිමි කියැවීමක් නොවේ.

එවන් සමාජයක් හැම තත්ත්වයම වර නඟන්නේ සිම්පල් ලෙසය. රංගනය හෝ කලාව වනාහි සමාජයේ වින්දනය පමණක් නොව, ජීවිතය සඳහා වන කියැවීමට පෙරවදනය. මේ පෙරවදන ‘අර සරල වින්දනයෙන්’ අපට මිස්වී තිබේ.

සුමින්ද සිරිසේනගේ හඬ පෞරුෂය, ඔහු සමීප රූපයේදී දක්වන ‘ෆෙෂල් එක්ෂ්පේෂන්’ ආදිය අද්විතීයය. ගායන හැකියාව ආදියෙන් පිරිපුන් එවන් නළු පරපුරක් අද නම් හිඟය. ඔහුගේ හැදෑරීම සිය ශාස්ත්‍රපති උපාධිය උදෙසා ඉදිරිපත් කරන ලද නිබන්ධනයෙන්ම පෙනේ. සැලෝමේ සහ ඔස්කා වයිල්ඩ්ගේ නාට්‍ය පිළිබඳ විමර්ශනාත්මක විග්‍රහයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ එම නිබන්ධනය වූ කලී ඔහු කොතරම් රංගනය පිළිබඳව හදාරා ඇත්දැයි යන්න සඳහා සාක්ෂි පත්‍රයකි.

ඒ සියල්ල නිමවා ඔහු දැන් අපට සමුදී තිබේ. හේ සිය ශාස්ත්‍රපති නිබන්ධනයෙදී ඔස්කා වයිල්ඩ් දැක තිබුණේ ‘අර්බුදකාරී ද්විත්ව ස්වරූපයක්’ලෙසය. එවන් අර්බුදකාරී ද්විත්ව ස්වරූපයක් සුමින්ද අපගෙන් වියෝවන මොහොතේද උද්ගතව තිබේ. සමාජයේ එක් ලේයරයක්, තවම උසස් වින්දනය සඳහා පෙලඹී සිටින්නාහ. බහුතර ලේයරය එවන් හරවත් හැදෑරීම දෙසට නොව, සරල කලාවට අනුගතව සැරිසරන්නේය. මේ පරම්පරා ගැටුම වැනි කතාවක් නොවේ. වෙනත් කිසිදු රටක රසවින්දනය එසේ අවගමනය වී නැති පරිසරයක, අප අලුතෙන් අත්කරගෙන ඇති තත්ත්වයකි. සුමින්දගේ මරණය මේ මාතෘකාව සඳහා වූ පදනමකි. මරණයක් යනු ශෝකය සඳහා වූ මැයක් පමණක් වන්නේ නම් ඒ මළ මිනිසාට කරන නිගාවකි. නැතහොත් ඔහුගේ පරිමාව එතරම් කුඩා ද යන හැඟීම මතුවේ.

සුමින්ද සිරිසේන වැනි විසල් රංගවේදියෙක් ඒ ආකාරයෙන් නිගා ලැබිය යුතු නැත. ඔහු පිළිබඳව හැදෑරීම පමණක් නොව, ඔහුගේ පරපුර සහ එම පරපුර නිර්මිත නිර්මාණ කාර්යය සඳහා සිදුවිය යුතු සාධාරණය, උත්තර රස වින්දනයකින් යුත් සමාජයක් බිහිකර ගැනීමය. එහි පෙර ගමන් කතිකාවත සඳහා සුමින්ද සිරිසේනයෝ දැක්මක් වේවා…!

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT