ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජයීය විද්‍යා පීඨයේ පීඨාධිපති -මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද
වර්තමානයේ මුළු ලෝකයටම මුහුණ දීමට සිදුව ඇති විශාල අභියෝගයක් වන දේශගුණික විපර්යාස පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජයීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතා දැක්වූ අදහස් ඇසුරෙන් සකසන ලද ලිපියකි.
දේශගුණික විපර්යාස යනු උෂ්ණත්වය, වර්ෂාපතනය සහ අනෙකුත් කාලගුණික සංසිද්ධීන් ඇතුළුව පෘථිවි දේශගුණික රටාවන්හි ඇති වන දීර්ඝ කාලීන වෙනස්කම් ය. මෙම වෙනස්කම් දීර්ඝ කාල පරිච්ඡේද තුළ සිදු වන අතර, සාමාන්‍යයෙන් දශකයක පමණ කාලසීමාවක සිට වසර මිලියන ගණනක් ඔස්සේ මෙම වෙනස්කම් සිදු වේ. ස්වාභාවික සාධක පෘථිවියේ දේශගුණයට සහ එහි ඉතිහාසය පුරාවටම බලපා ඇති අතර, ‘දේශගුණික විපර්යාස’ යන යෙදුම බොහෝවිට සම්බන්ධ වනුයේ මෑත දශකවල නිරීක්ෂණය කරන ලද මානව (මානවයා විසින් ඇති කරන ලද) බලපෑම් සමඟය. දේශගුණික විපර්යාසවල ප්‍රධානතම බලපෑමක් වනුයේ පෘථිවි වායුගෝලයේ හරිතාගාර වායු සාන්ද්‍රණය වැඩි වීමයි. කාබන්ඩයොක්සයිඩ් (CO2), මීතේන් (CH4), නයිට්‍රජන් ඔක්සයිඩ් (N2O) සහ අනෙකුත් වායූන් ඇතුළුව සූර්යාගෙන් තාප උගුලට හසුකර ගැනීමේ මෙම ක්‍රියාවලිය හරිතාගාර ආචරණය ලෙස හඳුන්වනු ලැබේ. ෆොසිල ඉන්ධන (ගල් අඟුරු, තෙල් සහ ස්වාභාවික වායු) දහනය කිරීම, වන විනාශය, කාර්මික ක්‍රියාවලීන් සහ කෘෂි කර්මාන්තය වැනි මානව ක්‍රියාකාරකම් මෙම හරිතාගාර වායූන්ගේ මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ නංවා, ස්වාභාවික හරිතාගාර ආචරණය තීව්‍ර කිරීම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට හේතු වී ඇත.
දේශගුණික විපර්යාසයන්ගේ ප්‍රධාන දිශානතීන් ලෙස ගෝලීය උණුසුම ඉහළ යාම, කාලගුණ රටා වෙනස් වීම, අයිස් දියවීම සහ මුහුදු මට්ටම ඉහළ යාම, සාගර ආම්ලිකකරණය, පරිසර පද්ධතිවලට සිදුවන බලපෑම, කෘෂි කර්මාන්තයට සිදු කරන බලපෑම් සහ මානව සෞඛ්‍යයට වන අවදානම හඳුනාගත හැකිය.
විවිධ පාරිසරික වෙනස්කම්වලට දායක වෙමින් පෘථිවි පෘෂ්ඨයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යාම නිසා ගෝලීය උණුසුම ඉහළ යමින් පවතී. එලෙස ම දේශගුණික විපර්යාසයන්හි ප්‍රතිඵල ලෙස වර්ෂාපතන රටාවල වෙනස් වීම්, සුළං රටාවල සිදු වන වෙනස්කම් සහ අනෙකුත් කාලගුණික වෙනස්කම් සිදු වන වාර ගණන සහ ඒවායේ තීව්‍රතාවයේ වැඩි වීම නිසා කාලගුණික රටා වෙනස් වී ඇත.
පාරිසරික වෙනස්කම්
A23a ලෙස නම් කර ඇති මෙම අයිස් කුට්ටිය ඝන මීටර් 400 (අඩි 1,312) පමණ වන අතර, වර්ග කිලෝමීටර් 4,000 (වර්ග සැතපුම් 1,544) පමණ වේ. එය සංසන්දනය කිරීමේදී මහා ලන්ඩනය වර්ග කිලෝමීටර් 1,572 (වර්ග සැතපුම් 607) වේ. එමෙන්ම සාගර මඟින් කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය වැඩි වීම නිසා ඒවා වඩාත් ආම්ලික වී ඇත. එය සාගර ජීවීන්ට ඉතාමත් අහිතකර ප්‍රතිඵල අත්කර දෙයි. එලෙසම දේශගුණික විපර්යාසයන්ට ඉතාමත් පහසුවෙන් පරිසර පද්ධතීන් විනාශ කළ හැකි අතර, ශාක හා සත්ත්ව විශේෂවල ව්‍යාප්තියට හා හැසිරීමට එය ඍජුව සහ වක්‍රව බලපායි. සමහර ශාක සහ සත්ත්ව විශේෂවල අනුවර්තනයන්ට බාධා එල්ල වී ඇති අතර, බොහෝමයක් විශේෂ වඳ වීමේ අවදානමට මුහුණ දී සිටියි. අද වන විට ඇති වී තිබෙන උෂ්ණත්ව, වර්ෂාපතන සහ සුළං රටාවේ වෙනස් වීම් කෘෂි කර්මාන්තයට ඍජු සහ වක්‍ර ඍණාත්මක බලපෑම් රාශියක් එල්ල කර ඇති අතර, එහි අවසන් ප්‍රතිඵලය එල්ල වනුයේ ආහාර නිෂ්පාදනයටයි. මේ හේතුවෙන් වර්තමානය වන විට ආහාර නිෂ්පාදනය සහ සැපයීම ලෝකය මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයක් වී ඇත. මේ තත්ත්වය ශ්‍රී ලංකාවට ද බලපා ඇත. මේ දිනවල නකල්ස් ප්‍රදේශය ආශ්‍රිතව පර්යේෂණයක නියැළෙන අප පර්යේෂණ කණ්ඩායමට දැක ගත හැකි වූයේ කාලගුණය වෙනස් වීම හේතුවෙන් එම ප්‍රදේශ ආශ්‍රිතව කෘෂිකාර්මික කටයුතු සිදු කරන ගොවි මහත්වරු මුහුණ දෙන ගැටලු රාශියක් ඇති බවයි. යල, මහ කන්නවල වගා කටයුතු කෙරෙන නිශ්චිත කාලසීමාවන් කාලගුණික වෙනස්කම් හමුවේ වෙනස් වෙමින් පවතින අතර, බොහෝමයක් සාම්ප්‍රදායික ගොවි මහත්වරු පුරුදු පුහුණු වී සිටි ආකාරයට අනාගත කාලගුණික සංසිද්ධීන් අනුමාන කොට සූදානම් කෙරෙන වගා කටයුතු වර්තමානය වන විට අඩාළ වී ඇත්තේ කාලගුණික විපර්යාසයන්හි අනිටු ප්‍රතිඵලයක් ලෙසයි. එලෙසම දේශගුණික විපර්යාස මිනිස් සෞඛ්‍යයට ඍජුව හා වක්‍රව බලපාන අතර, වාතයේ සහ ජලයේ පවිත්‍ර බව සහ ගුණාත්මක බව තබා ගැනීම පවා අද වන විට අභියෝගයකට ලක් වී ඇත්තේ වෙනස් වන කාලගුණයේ අහිතකර ප්‍රතිඵල තව තවත් තීව්‍ර කරමිනි.
මෙලෙස දේශගුණික විපර්යාස ශ්‍රී ලංකාවට සැලකිය යුතු අභියෝග එල්ල කරන අතර, එය දිවයිනේ පරිසර, ආර්ථික සහ සමාජ යන විවිධ අංශ කෙරෙහි බලපායි. කාලගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස කැපී පෙනෙන වෙනසක් වන්නේ රට පුරා උෂ්ණත්වය ඉහළ යාමයි. ඊට අමතරව කාලගුණික සංසිද්ධීන්වල යම් තීව්‍ර බවක් ද දැක ගත හැකි වේ. උෂ්ණත්වය ඉහළ යාම කෘෂි කර්මාන්තයට, ජල සම්පත්වලට සහ මානව සෞඛ්‍යයට බලපෑම් ඇති කරයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ අත්‍යවශ්‍ය අංගයක් වන කෘෂිකාර්මික අංශය විශේෂයෙන් අවදානමට ලක්ව ඇත්තේ භෝග වර්ධනය සහ භෝග නිෂ්පාදනය වැනි තත්ත්වයන්ට සංවේදී විය හැකි බැවිනි. ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාසයේ තවත් ප්‍රතිඵලයක් ලෙස වර්ෂාපතන රටා වෙනස් වීම පෙන්වා දිය හැකිය. ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තයට තීරණාත්මක වන මෝසම් කාල දෙකක් අත්විඳියි. මෙම රටාවන්හි වෙනස් වීම් ගංවතුර සහ නියඟ යන තත්ත්වයන් දෙකටම හේතු විය හැකි අතර, ඉන් කෘෂි කර්මාන්තයට එල්ල වන බලපෑම කියා නිම කළ නොහැකිය. එවැනි අන්තයන් භෝග අස්වැන්න කෙරෙහි අහිතකර බලපෑම් ඇති කළ හැකි අතර, ආහාර සුරක්ෂිතතාව සහ කෘෂි කර්මාන්තයෙන් යැපෙන පුද්ගලයන්ගේ ජීවනෝපායන් අනතුරේ හෙළමින් ඇත. ඒ අනුව අද වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කෘෂිකාර්මික පද්ධතියම තිබෙන්නේ අනතුරකය.
එසේම ශ්‍රී ලංකාව ගංවතුර, නියං සහ නායයෑම් ඇතුළු විවිධ ආන්තික කාලගුණික සිදුවීම්වලට ගොදුරු වේ. දේශගුණික විපර්යාස මෙම සිදුවීම්වල තීව්‍රතාව සහ වාර ගණන තීව්‍ර කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, යටිතල පහසුකම්, කෘෂි කර්මාන්තය සහ මානව ජනාවාසවලට ද ඉන් වැඩි අවදානමක් ඇති කරයි. වෙරළබඩ ප්‍රදේශ ද විශේෂයෙන් දේශගුණික විපර්යාසවල බලපෑමට ගොදුරු වේ. මුහුදු මට්ටම ඉහළ යාම, වෙරළ ඛාදනය, ලවණ ජලය ආක්‍රමණය කිරීම සහ ඉඩම් අහිමි වීම එකී තර්ජන කිහිපයකි. අපගේ පර්යේෂණයන්ට අනුව බෙන්තොට ප්‍රදේශය ආශ්‍රිතව වී වගා කටයුතු සිදු කරන ගොවි මහත්වරු මුහුණ දෙන එක් ප්‍රධානතම ගැටලුවක් වී ඇත්තේ ඔවුන්ගේ ඉඩම්වලට එකතු වන ලවණ මිශ්‍රිත ජල ප්‍රමාණය ඉහළ යාමයි. කෘෂි කර්මාන්තය, පානීය ජල සැපයුම සහ බලශක්ති උත්පාදනය සඳහා ශ්‍රී ලංකාවේ ජල සම්පත ඉතා වැදගත් වේ. වර්ෂාපතන රටාවේ වෙනස් වීම් සහ උෂ්ණත්වය ඉහළ යාම ජලය ලබා ගැනීමේ හැකියාව කෙරෙහි බලපෑම් ඇති කළ හැකි අතර, මෙම තීරණාත්මක සම්පත කළමනාකරණය කිරීම අද වන විට අභියෝගයක් වී ඇත. ඇතැම් කලාපවල ජල හිඟය සහ අනෙක් ප්‍රදේශවල ගංවතුර අවදානම යන දෙකටම මුහුණ දීමේ ද්විත්ව අභියෝගයට අප රට මුහුණ දෙමින් සිටියි.
පුනර්ජනනීය බලශක්ති
එහිදී පුනර්ජනනීය බලශක්ති සම්පත් කෙරෙහි මුල පිරීමේ අවශ්‍යතාව මතුව ඇත. දේශීය මට්ටමින්, ප්‍රජාවන් පොසිල ඉන්ධන මත යැපීම අඩු කිරීම සහ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සඳහා සූර්ය, සුළං සහ ජල විදුලිය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සඳහා වැඩි වැඩියෙන් ආයෝජනය කිරීම වර්තමාන ජාතික අවශ්‍යතාවකි. එලෙස ම නගර සහ මහ නගර සභා ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා නාගරික සැලසුම්කරණයට දේශගුණික කරුණු ඇතුළත් කළ යුතු ය. දේශගුණයට ඔරොත්තු දෙන යටිතල පහසුකම් සැලසුම් කිරීම, ජල සම්පත් කළමනාකරණය සහ හරිත ගොඩනැඟිලි භාවිතයන් ක්‍රියාත්මක කිරීම වැනි ක්‍රියාමාර්ග මෙයට ඇතුළත් වේ. එමෙන් ම දේශීය මූලාරම්භයන් බොහෝවිට ගස් සිටුවීම සහ ස්වාභාවික පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. වන වගාව, නැවත වන වගා ව්‍යාපෘති සහ ජෛව විවිධත්ව සංරක්ෂණය දේශගුණික බලපෑම්වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීමට දායක වේ. දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීමට ප්‍රජා පාදක අනුවර්තනයන් කෙරෙහි ද අවධානය යොමු කළ යුතුය. මෙයට තිරසර කෘෂිකාර්මික පිළිවෙත්, ජල කළමනාකරණ ව්‍යාපෘති සහ ප්‍රජා පාදක ආපදා අවදානම් අවම කිරීම ඇතුළත් කළ හැකිය. එමෙන් ම දේශගුණික විපර්යාස, එහි බලපෑම් සහ තිරසර භාවිතයන්ගේ වැදගත්කම පිළිබඳව ප්‍රජාවන් දැනුම්වත් කිරීම සඳහා පළාත් පාලන ආයතන සහ සංවිධාන දැනුම්වත් කිරීමේ ව්‍යාපාරවල අවශ්‍යතාවක් ඇත. බලශක්ති කාර්යක්ෂමතාව, අපද්‍රව්‍ය අවම කිරීම සහ පාරිසරික දැනුම්වත් බව ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයන් මෙයට අන්තර්ගත වේ. එලෙස ම දේශගුණ විපර්යාසවල බලපෑම අවම කිරීම සඳහා සම්පත් සහ ප්‍රවීණත්වය එක්රැස් කිරීම සඳහා පළාත් පාලන ආයතන බොහෝ විට රාජ්‍ය නොවන සංවිධාන, ව්‍යාපාර සහ ප්‍රජා කණ්ඩායම් සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. තිරසර මූලාරම්භයන් ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයට සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ හැකිය.
දේශගුණික විපර්යාස කෙරෙහි ජාත්‍යන්තර අවධානය සැලකීමේදී කාලගුණික වෙනස් වීම සම්බන්ධව ජාත්‍යන්තර මට්ටමෙන් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, ගිවිසුම් සඳහා ද එළඹී ඇත. දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNFCCC) යටතේ 2015දී සම්මත කරන ලද පැරිස් ගිවිසුම එවැනි වැදගත් ජාත්‍යන්තර ගිවිසුමකි.
පුළුල් සහයෝගීතාව
මෙවර COP 28 සමුළුව පසුගිය නොවැම්බර් 30 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇරඹි අතර, එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ විධායක ලේකම් සයිමන් ස්ටීල් COP 28 සමුළුව සමාරම්භක දේශනයේදී වෙනස් වන කාලගුණයේ ප්‍රතිඵල තීව්‍ර බව පෙන්වා දෙමින් පවසා සිටියේ ‘අප දන්නා පරිදි මෙම පොසිල ඉන්ධන යුගයේ පරිහානිය අප නිසි ලෙස සන්නිවේදනය නොකරන්නේ නම්, අපගේම පරිහානිය අපි සාදරයෙන් පිළිගනිමු. අපි මිනිසුන්ගේ ජීවිතවලින් ගෙවීමට තීරණය කරමු’ යනුවෙනි. එසේම හරිත දේශගුණික අරමුදල UNFCCC යටතේ ඇති මූල්‍ය යන්ත්‍රණයක් වන අතර, එය දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවල ව්‍යාපෘති, වැඩසටහන්, ප්‍රතිපත්ති සහ වෙනත් ක්‍රියාකාරකම් සඳහා සහාය වේ. අඩු විමෝචනය සහ දේශගුණයට ඔරොත්තු දෙන සංවර්ධනය සඳහා වන ඔවුන්ගේ උත්සාහයන් සඳහා මෙම රටවලට සහාය වීම එහි අරමුණයි. පසුගිය නොවැම්බර් 30 වන දින COP 28 හි නිකුත් කරන ලද, ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) විසින් ඉදිරිපත් කරන ලද ගෝලීය කාලගුණ වාර්තාව තහවුරු කරන්නේ 2023 වසර වාර්තාගත උණුසුම්ම වසර බවට පත් වන බවයි.
ජනවාරි – ඔක්තෝබර් ගෝලීය මතුපිට උෂ්ණත්වය 1901 – 2000 දී සාමාන්‍ය 14.1 °C (57.4 °F) ට වඩා 1.13 °C ක් (2.03 °F) වසර 174 වාර්තාවේ ඉහළම ශ්‍රේණිගත කර ඇත. මෙය 2016 ජනවාරි – ඔක්තෝබර් සිට 0.08 °C (0.14 °F) කින් පෙර වාර්තාව අබිබවා ගියේය. NCEI හි සංඛ්‍යා ලේඛන විශ්ලේෂණය සහ ඔක්තෝබර් දක්වා දත්තවලට අනුව, 2023 වාර්තාගත උණුසුම්ම වසර ලෙස ශ්‍රේණිගත කිරීමට 99%කට වඩා වැඩි අවස්ථාවක් තිබේ.
දේශගුණික විපර්යාස ආමන්ත්‍රණය කිරීම සඳහා ජාත්‍යන්තර සහ ප්‍රාදේශීය මට්ටමින් පුළුල් සහ සහයෝගි ප්‍රයත්නයක් අවශ්‍ය වේ. පැරිස් සම්මුතිය වැනි මූලාරම්භයන් සහ COP වැනි සමුළු ගෝලීය සහයෝගිතාව පෝෂණය කිරීමේ සහ ප්‍රතිපත්ති සැකසීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ලොව පුරා රටවල් හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට සහ වෙනස් වන දේශගුණික බලපෑම්වලට අනුවර්තනය වීමට ජාතික සැලසුම් සකස් කරමින් ක්‍රියාත්මක කරමින් සිටී. දේශීය මට්ටමින් ද පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සහ තිරසර නාගරික සැලසුම්කරණයේ සිට වන වගාව සහ ප්‍රජා පාදක අනුවර්තනය දක්වා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී. බහුවිධ ප්‍රවේශයට තාක්ෂණික විසඳුම් පමණක් නොව අධ්‍යාපනය සහ ප්‍රජා දැනුම්වත්භාවයද අත්‍යවශ්‍ය වේ. අපගේ සාමූහික වගකීම පිළිබඳ සාමූහික විඥානයක් පෝෂණය කිරීමෙන්, ඉදිරි පරම්පරාවන් සඳහා පාරිසරික භාරකාරත්වයේ උරුමයක් සහතික කරමින් වඩාත් තිරසර සහ සුහද සහජීවනයක් සඳහා අපට උත්සාහ කළ හැකිය. ඒ සඳහා එක්ව ක්‍රියා කළ යුතු කාලය දැන් එළඹ ඇති අතර, ඒ ඔස්සේ වඩාත් තිරසර සහ සුරක්ෂිත අනාගතයක් කරා අවශ්‍ය මං මාවත් සකස් කළ හැකිය.
සචිනි ඉමල්ෂා උඩවත්ත
කැලණිය විශ්වවිද්‍යාලය