ලාංකේය කලා කෙත අස්වැද්ද වූ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියකුගේ දිවියක නිමාව ඊයේ දින සනිටුහන් විය. එනම්, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය මෙන්ම චිත්‍රපට රංගන ශිල්පියෙකු වූ සුමින්ද සිරිසේනයන්ගේ අභාවයයි. සුමින්ද සිරිසේන අභාවයට පත්වන විට 75 හැවිරිදි විය පසුකරමින් සිටියේය. ඔහු තම ජීවිතයේ අවසාන භාගය ගත කරමින් සිටියේ රෝද පුටුවක් මතය. එහෙත් අපූර්වත්වයෙන් යුත් හැකියාවන් එළිදැක්වීමට ඔහුට නොහැකි වූයේ 2012 වසරේ වැලඳුණු උණ රෝගයක් හේතුවෙනි. එතැන් පටන් සුමින්දගේ කලා ජීවිතය පමණක් නොව තම ජීවිතය පවා ගමන් කරන්නට වූයේ වෙනස් ගමන් මඟකය.
උණ රෝගය වැලඳීමෙන් පසු ඔහුට තම දෙපා පණ නැති වීමත් ඒ හා ආශ්‍රිත සංකූලතාවයන් ද ඇතිවිය. ටෙලිනාට්‍යයේ, වේදිකාවේ එහා මෙහා දිව ඇවිදිමින් ප්‍රේක්ෂකයාගේ සිත් තුළ තම රංගන හැකියාව පැළපදියම් කළ සුමින්ද සිරිසේනට තම ජීවිතය හෝ නිසි අයුරින් කළමනාකරණය කරගැනීමට නොහැකි වූයේ මොළය ආශ්‍රිතව සිදු වූවා යැයි සලකන ස්නායු රෝගයක් හේතුවෙනි. ලොවක් හඳුනන කලා ශිල්පියෙකු වූ සුමින්දට තමා ප්‍රිය කරන මාවත සොයාගැන්මට ආභාෂය ලැබුණේ ඔහුගේ පියාගෙනි.
1948 වසරේ ජූලි 04දා බුලත්ගමුවගේ සුමින්ද සිරිසේන උපත ලැබුවේ කෑගල්ල බොස්වැල්ල නම් වූ කුඩා ගම්පියසේය. සුමින්දගේ පියා ගම්මානයේ නාට්‍ය මඩුවක් සාදා ගම්මුන්ට නාට්‍ය පෙන්වීම තුළම කුඩා වියේ හුන් සුමින්දට සිතෙන්නට ඇත්තේ ද මෙය නම් අපූර්වත්වයෙන්ම යුත් කටයුත්තක් කියා වන්නට පිළිවන. මේ සිතිවිලි දාමයම ඔහු අධ්‍යාපනය ලැබූ තෝලංගමුව මධ්‍ය විද්‍යාලයේ වේදිකාව සරසන්නට සමත් විය. සුමින්ද සිරිසේන වේදිකාවේ පළමු පියවර තබන්නට සමත් වූයේ පාසල් වේදිකාව තුළ රංගගත කළ ‘ගිරිකූට’ වේදිකා නාට්‍යයෙනි. ඔහු එහි නිරූපණය කළ චරිතය වූයේ කාශ්‍යප රජුගේ චරිතයයි. මෙම නාට්‍යය ගොඩනැඟී තිබුණේ ද සීගිරි කාශ්‍යප කතාව මුල් කරගනිමිනි. ඔහුගේ පළමු පියවරම යෝධ පිම්මක් බවට පත් වූයේ මෙම වේදිකා නාට්‍යය ලංකාවේ නිමැ වූ පාසල් වේදිකා නාට්‍ය අතර ඉමහත් ජනප්‍රියත්වයක් ලබාගත් හෙයිනි. මේ අතරම පාසල් වේදිකාවේදීම ‘සාක්කිකාරයෝ’ වේදිකා නාට්‍යයට ද රංගනයෙන් සම්බන්ධ විය. පාසල් වේදිකාවේ කා අතරත් ජනප්‍රියත්වයට පත් වූ සුමින්ද අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු තෝරාගත්තේ ද එවැනිම ගමන් මඟකි. ඔහු ඊළඟ පියවර තැබුවේද කලා කෙත ඔස්සේම ඉදිරියට යා හැකි හැරවුම් ලක්ෂ්‍යකිනි. මේ හේතුවෙන් ධම්ම ජාගොඩ විසින් මෙහෙය වූ රංග ශිල්ප ශාලිකාවේ සාමාජිකයකු වන්නට ඔහුට හැකි විය. ධම්ම ජාගොඩගේ ‘මූදු පුත්තු’ වේදිකා නාට්‍යයේ දියෝනිස් චරිතය ඔහුට ලැබුණේ එලෙසිනි. මුළු මහත් කලාවම සිය ජීවිතය කරගැන්මට නොහැකි තැන ඔහු 1969 වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවකට යොමු විය. රැකියාවට යොමු වුවද කුඩා සන්ධියේ පටන් පෙම් කළ කලාව ඔහු අමතක නොකරන්නට වගබලා ගත්තේය. මේ නිසාම මනමේ හා සිංහබාහු, මහාසාර, බඩකුඩතුරාව, මීපුර වැසියෝ, වංසක්කාරයෝ, හිරු නැති ලොව, හස්ති රාජ මහත්තයා යන වේදිකා නාට්‍යවලට සම්බන්ධ විය. වේදිකාව එසේ වන විට ප්‍රේක්ෂකයා වෙත ඔහු බොහෝ සෙයින් සමීප වූයේ රූපවාහිනී ටෙලිනාට්‍ය ඔස්සේය.
ඔහුගේ රංගන හැකියාව කවරාකරද යත් මේ මොහොතේ පවා සුමින්ද සිරිසේන නම් නළුවාගේ මතක ආවර්ජනය කරනුයේ එනිසාවෙනි. ඔහු රංගනයෙන් සම්බන්ධ වූ ටෙලිනාට්‍ය ගණන 40කට අධිකය. 1976දී මුල්ම වරට චිත්‍රපටයක ඔහු සම්බන්ධ වූයේ ‘දුහුළු මලක්’ චිත්‍රපටයෙනි. එතැන් පටන් දඬු මොනරා, ගුරු ගෙදර, සප්ත කන්‍යා, ගිනි කිරිල්ලී, ගාමිණී ආදි ලෙසින් චිත්‍රපට 11කට වඩා වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් සම්බන්ධ විය.
2017 වසරේදී කලා කීර්ති සම්මානයෙන් පුද ලද ඔහු 2014 වසරේදී කලා භූෂණ සම්මානයෙන් ද පිදුම් ලබන්නට සමත් විය.
මේ අතරම රාජ්‍ය නාට්‍ය උලෙළේ දී හොඳම නළුවා ලෙසින් 1993/1997 වසරවලදී සම්මාන දිනාගන්නට සමත් වූ අතර, 1992/1995 වසරවල හොඳම සහාය නළුවා සම්මානයෙන් පුද ලැබීය. එමෙන්ම රාජ්‍ය ටෙලි සම්මාන උලෙළේ 2007-2013 වසරේ හොඳම සහාය රංගනයට සම්මාන ලබන්නට සමත් විය. එමෙන්ම සුමති ටෙලි සම්මාන උලෙළේදී හොඳම සහාය නළුවා ලෙසින් 1997, 2003 හා 2004 වසරවල සම්මාන ලබන්නට සමත් වූ අතර, හොඳම නළුවා ලෙසින් තේරී පත් වූයේ 1999 වසරේදීය. වැඩිම වශයෙන් ඔහුට සම්මාන ලැබී තිබුණේ සිග්නීස් සම්මාන උලෙළේදීය. හොඳම නළුවා ලෙසින් 1995, 2002, 2004, 2005, 2006 වසර සම්මාන ලබාගත් අතර, හොඳම සහාය නළුවා ලෙසින්ද 1995, 2005, 2011 වසරවල සම්මාන ලැබී තිබුණේ එක් එක් නාට්‍ය වෙනුවෙනි. 2005 වසරේදී ඔහු විශේෂිත වූ සම්මානයකින්ද පිදුම් ලැබීය.
2003 වර්ෂයේ මෙන්ම 2018 වර්ෂයේ රයිගම් සම්මාන උලෙළේදී හොඳම නළුවාට මෙන්ම විශේෂිත වූ සම්මානයකින් ද ඔහු පිදුම් ලැබීය. ඒ සුමින්ද සිරිසේනයන්ගේ සම්මාන පෙළහරයි.
ඔහුගේ බිරිය වූයේ ලීලා සිරිසේනය. දරුවන් දෙදෙනකුගේ පියකු වූ ඔහු මිය යන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් උන්නාය. 2023 දෙසැම්බර් 04 වනදා වූ ඊයේ ලාංකේය ප්‍රේක්ෂක ජනතාවට මිහිරි මතක ගොන්නක් එක්කළ සුමින්ද සිරිසේන නම් කලා ශිල්පියා රංග කරළියට සමුදුන්නේය. ඉතින් ඔබට සුවබර නින්දක්!.
රජිත බස්නායක