Home » බම්බලපිටියේ ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන ගිය කාන්තාවක් මාට්ටු

බම්බලපිටියේ ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන ගිය කාන්තාවක් මාට්ටු

by chanaka
December 5, 2023 4:21 pm 0 comment

ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් වටලා එහි අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

නොවැම්බර් මස 27 වැනිදා බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත බම්බලපිටිය, ලොරිස් පාර ප්‍රදේශයේ පිහිටි EVOLVE COLLEGE OF EDUCATION නැමැති අධ්‍යාපන ආයතනය වටලා සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 24ක් වූ ගිරිඋල්ල, නාරංගමුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

දේශීය හා විදේශීය රැකියාවලට අවශ්‍ය කරන ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා අධ්‍යාපනය ලබාදෙන බවට මුහුණුපොතේ දැන්වීම් පළ කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිසුන් බඳවා ගෙන මෙම ආයතනය පවත්වාගෙන ගොස් තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ, මාර්ගගත ක්‍රමයට අධ්‍යාපන වැඩමුළු පවත්වමින්, නීත්‍යානූකූල අනුමැතියකින් තොරව අධ්‍යාපනය ලබාදීමෙන් පසු එම ආයතනය මඟින් ව්‍යාජ ඩිප්ලෝමා සහතික නිකුත් කර ඇති බවයි.

දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය කරන නියමිත ප්‍රමිතීන්ගෙන් තොරව එම ආයතනය පවත්වාගෙන ගොස් ඇති අතර, එක් ඩිප්ලෝමා පාඨමාලාවක් සඳහා පාඨමාලාවේ වර්ගය අනුව රුපියල් 100,000ක සිට රුපියල් 445,000 දක්වා මුදල් අයකරගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මේ වනවිට ඊට අදාළ පැමිණිලි 43ක් ලැබී ඇතැයි පොලීසිය සදහන් කරයි.

තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගත යුතු වුවද එම කොමිෂන් සභාවේ ලියාපදිංචි වීමකින් තොරව අනවසරයෙන් ව්‍යාජව පවත්වාගෙන ගොස් ඇති බවටද අනාවරණය වී තිබේ.

මෙම ආයතනය මඟින් විවිධ විද්‍යුත් මාධ්‍යයන් උපයෝගි කර ගනිමින් රැකියා අවස්ථා ලබාදීමට, උසස් අධ්‍යාපනයට දැන්වීම් පළකරමින් තවදුරටත් මුදල් එකතු කිරීමේ කටයුතු නිරතවන බවට වැඩිදුර විමර්ශනයේ දී අනාවරණය වී ඇත.

එම ආයතනයේ සම අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ලද අවුරුදු 25ක වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා බම්බලපිටිය පොලීසිය වැඩිදුරටත් විමර්ශණ සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT