කරුවලගස්වැව තේවනුවර ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක් තුළදී විදුලි සර වද්දවා ඇතුන් දෙදෙනකු මරා දැමීමේ චෝදනාවට කරුවලගස්වැව පොලිසියට භාර වූ සැකකාර අඹුසැමි යුවළගෙන් සැමියා එළඹෙන 12 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් සැකකාර කාන්තාවට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප නියම කිරීමටත් පුත්තලම මහේස්ත්‍රාත් මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා ඊයේ (04) නියෝග කෙරුණී.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළේ කරුවලගස්වැව තබ්බෝව තේවනුවර පදිංචි ජයසූරිය මුදියන්සේලාගේ කුමාරසිංහ ජයසූරිය නමැති 53 හැවිරිදි අයකු වන අතර, මෙම සැකකරු සමඟ කරුවලගස්වැව පොලිසියට භාර වූ සැකකරුගේ බිරිය වන ප්‍රියන්ති ෆොන්සේකා නමැති 50 හැවිරිදි දෙදරු මවගේ කුඩා දරුවන් දෙදෙනා ගැන සලකා රුපියල් ලක්ෂ දෙකක ඇප නියම කරමින් ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා කරුවලගස්වැව පොලිසියට නියෝග කර තිබුණි.
තබ්බෝව අභය භුමිය හා ඒ අවට ප්‍රදේශවල සැරිසරමින් ගම්මාන වෙත කඩාවදිමින් සිටි අවුරුදු 35ක් පමණ වයසැති වාසල හා අවුරුදු 38 පමණ වයසැති වළගම්බා නමින් හැඳින්වෙන ඇතුන් දෙදෙනා මෙලෙස අවාසනාවන්ත අයුරින් මරණයට පත්ව තිබුණේ එකම ඉඩමක ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී අධික විදුලි සරට ලක්වීමෙන් බව වනජීවී පශු වෛද්‍යවරයා විසින් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු කර තිබුණි.
මෙහිදී වාසල නමැති හස්තියා 3 දින අනවසර විදුලි රැහැනේ දැවටී 3 දින අලුයම මරණයට පත්ව සිටි අතර, වළගම්බා හස්තියා දින කිපයකට පෙර මෙම ඉඩමේ කැළැබද ස්ථානයක විදුලි සරට ලක්වී මරණයට පත්ව සිටියදී ප්‍රදේශවාසීන් සොයාගෙන තිබුණි. මෙම විදුලි සර වැදී ඇතුන් දෙදෙනා මරණයට පත්වූ ඉඩමේ හිමිකරු සිද්ධියත් සමඟ නිවසින් පලා ගොස් තිබූ අතර, ඔහුගේ බිරිඳගෙන් කරුවලගස්වැව පොලිසිය ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කර තිබුණි. කෙසේ වෙතත් 4 දින අදාළ සිද්ධියට ප්‍රධාන සැකකරු වන නිවෙස් හිමියා හා ඔහුගේ බිරිය කරුවලගස්වැව පොලිසියට භාරවීම සිදුව තිබුණි.
කරුවලගස්වැව පොලිසිය මඟින් අදාළ ප්‍රධාන සැකකරු මෙම ඇතුන් දෙදෙනාට විදුලි සර වැද්දවීමේ සිද්ධියට ඍජුව සම්බන්ධ බවටත් ඔහුගේ බිරිය මෙම සිද්ධියේදී ආධාර හා අනුබල දීම හා විදුලි වැටේ ස්විචය දැමීම යන චෝදනාවන්ට බී වාර්තාවක් මඟින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. කෙසේ නමුත් මෙම කරුණු සියල්ල සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් කුඩා දරුවන් පිළිබඳ යම් අනාරක්ෂිත වීමක් සිදු වුහොත් එය බරපතළ තත්ත්වයක් බවට සලකා සැකකාරියට ඇප ලබා දීමටත් කටයුතු කෙරුණි.
මෙම නඩුව නැවත දෙසැම්බර් 12 දින පුත්තලම අධිකරණයේ කැඳවීමට නියෝග කෙරුණි.
ඡායාරූපය- පුත්තලම අතිරේක
පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ