Home » කොළඹ ගිය දුවට නවතින්න තැනක් සොයා දුන්නත් ඇය සරසවි නේවාසිකාගාරයේ නැවතිලා

කොළඹ ගිය දුවට නවතින්න තැනක් සොයා දුන්නත් ඇය සරසවි නේවාසිකාගාරයේ නැවතිලා

by sachintha
December 5, 2023 1:02 am 0 comment

සම්මුඛ පරීක්ෂණයකට කොළඹ ඇවිත් හදිසියේ මියගිය සරසවි සිසුවියගේ පියා කියයි

විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමකර රැකියාවක් සඳහා සම්මුඛ පරික්ෂණයකට සහභාගි වීමට කොළඹ ගිය යසාරා හංසමාලි ගුණසේකර (28) හදිසියේ අසනිපව රාගම රෝහලට ඇතුළත් කිරිමෙන් පසු පසුගිය 02 දින ජිවිතය හැර ගියාය.

යසාරා බදුල්ල ස්ප්‍රිංවැලි පාසල් පෙදෙස පදිංචි තරුණියකි ගැහණු ළමයින් දෙදෙනකු සිටින පවුලේ වැඩිමහල් දරුවා ඇය විය. ඇයගේ මව වන සන්ධ්‍යා බදුල්ල මහ නගර සභාවේ රාජකාරි කරන අතර පියා ගාමිණී ගුණසේකරය. ඇයගේ අනෙක් සොහොයුරිය ද කොළඹ සරසවියේ මේ වනවිට අධ්‍යාපනය හදරාමින් සිටි. බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සිප් සතර හැදෑරු යසාරා විශ්වවිද්‍යාල වරම් හිමිකර ගැනීමෙන් පසු කැළණිය විශ්වවිද්‍යාලයටත ඇතුළු වන්නේ 2017 වසරේදි්ය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමකර ඇය මියයන විට ගතව තිබුණේ මාස දෙකක පමණ කාලයකි.

එහි අධ්‍යාපනය හදාරමින් සිටින අතරතුර දීම රැකියාවක් සඳහා පෞද්ගලික ආයතනයකට ඇය විසින් යොමුකරන ලද ඉල්ලුම් පතකට අනුව ඒ සඳහා පැවැත්වෙන සම්මුඛ පරික්ෂණය සඳහා පැමිණෙන ලෙස ඇයට මෙම සිදුවිමට දින කිහිපයකට පෙර දැනුම්දීමක් කරඇත. ඒ අනුව යසාරා ස්ප්‍රිංවැලි නිවසේ සිට කොළඹ යන්නේ එම සම්මුඛ පරික්ෂණය සඳහා සහභාගි වීමටය. එම සම්මුඛ පරික්ෂණයේ මුලික කොටස නිමවුවත් ඇයට තවත් දවසක් දෙකක් කොළඹ නතරවීමට සිදුවන්නේ එම සම්මුඛ පරික්ෂණයේ තවත් අදියරක් පැවැත්වෙන නිසාය.

ඒ පිළබඳව තම පියාට දැන්වීමෙන් පසු ඔහු තමාගේ ළඟම හිතවතෙකු ගේ නිවසක එම දින කිහිපය නතරවීමට අවශ්‍ය කටයුතු සලසා දුන්නද ඇය එහි නොගොස් තම සරසවි යෙහෙළියන් සිටින නේවාසිකාගාරයේ එම දින දෙක තුන නතරව සිටිමට තිරණය කර සම්මුඛ පරික්ෂණය නිමාවෙන් පසු (01) දින පස්වරුවේ එහි ගොස් ඇති බව වාර්තාවේ.

එලෙස යෙහෙළියන් සමග කාලය ගත කරමින් සිටින අතර හදිසියේම ඇතිවු අසනිප තත්ත්වයක් නිසා ප්‍රතිකාර ලබාදිමට ඇයගේ යෙහෙළියන් රාත්‍රි 10.30 ට පමණ ඇයව රාගම රෝහලට රැගෙන යාමෙන් පසු එම රෝහලේ වාට්ටු අංක 22 ඇතුළත් කළ බවත් ඇයගේ යෙහෙළියෝ සඳහන් කළහ.

එලෙස ප්‍රතිකාර ලබමින් සිටියදි පසුගිය (02) දින දහවල් 1130 ට පමණ යසාරා මියගොස් ඇති අතර මේ පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු රාගම රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා විසින් (03) දින සිදුකිරිමෙන් අනතුරුව ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් රාගම රෝහලේ හදිසි මරණ පරික්ෂක ප්‍රියංකර ලාල් මහතා විසින් මෙම තරුණියගේ මරණය පිළිබඳව විවෘත තීන්දුවක් ලබා දෙමින් සිරුරෙ කොටස් වැඩිදුර පරික්ෂණ සදහා රජයේ රස පරික්ෂකවරයා වෙත යැවීමට කටයුතු කරන ලෙස දන්වා ඇයගේ දේහය සහෝදරිය හා මව වෙත භාරදි ඇත.

එලෙස භාරගත් යසාරාගේ දේහය ඊයේ (03) රාත්‍රි 11 ට පමණ ඇයගේ ස්ප්‍රිංවැලි නිවසට රැගෙන ඒමෙන් අනතුරුව එහි තැන්පත් කර ඇති අතර මෙම තරුණියට සිදුවු මෙම අවාසනාවන්ත සිදුවිම පිලිබඳව කනවැකුණු බොහෝ පිරිසක් වැල නොකැඩී එම නිවසට පැමිණෙන්නේ ඇයට අවසන් ගෞරවය දැක්විමටය.

මියගිය යසාරා සමන්මලි ගුණසේකර තරුණිය ගේ අවසන් කටයුතු අද දින (04) පස්වරුවේ ස්ප්‍රිංවැලි පොදු සුසාන භුමියේදි එම අවස්ථාව සඳහා සහභාගි වු විශාල පිරිසකගේ සෝ සුසුම් මැද සිදුවිය.

බදුල්ල – නිශාන්ත අබයගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT