කොළඹ පිහිටි සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ 13 වැනි පාලක මණ්ඩල රැස්වීම පසුගිය 28 වැනිදා සිට 29 වැනිදා දක්වා කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්විණි. මේ සඳහා බංග්ලාදේශය, මාලදිවයින, පකිස්ථානය, භූතානය, ඉන්දියාව සහ නේපාලය යන රටවල නියෝජිතයෝ සහභාගී වූහ.
මෙහිදී පාලක මණ්ඩල සාමාජිකයන් වන බංග්ලාදේශයේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සම ලේකම් (පරිපාලන) මිසානුර් රහමන්, භූතානයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරිනි ෂෙරිං චෝකි, ඉන්දියාවේ සංස්කෘතික අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සංස්කෘතික සබඳතා අධ්‍යක්ෂ යෂ් වීර් සිං, මාලදිවයිනේ භාෂාව, සංස්කෘතිය සහ උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් ශාමුන් හමීඩ් නේපාලයේ සංස්කෘතික, සංචාරක සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ සංස්කෘතික අංශයේ අංශ ප්‍රධානී / සම ලේකම් ආචාර්ය සුරේෂ් සුරස් ශ්‍රෙස්තා, පකිස්ථානයේ ජාතික උරුමයන් සහ සංස්කෘතික අංශයේ ලේකම් හුමයිරා අහමඩ්, ශ්‍රී ලංකා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, හිටපු නිලධාරීන් වන නේපාලයේ කත්මන්ඩු සාර්ක් ලේකම් කාර්යාලයේ අධ්‍යාපන සහ ආරක්‍ෂාව පිළිබඳබ අධ්‍යක්ෂ ඉරෝෂා කුරේ, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සාක් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ටී. පී. ධර්මසේන සහ ශ්‍රී ලංකා සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රේණුකා ඒකනායක මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
ශ්‍රී ලංකා සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා රේණුකා ඒකනායක මහත්මිය විසින් මේ වසරේදී පවත්වන ලද සාර්ථක ක්‍රියාකාරකම් සහ 2024 වසර සඳහා යෝජිත වැඩසටහන් පිළබඳ පාලක මණ්ඩල වාර්තාව ඉදිරිපත් කළාය.
රාජකීය ආසියාතික සංගමය සමඟ චිත්‍ර ප්‍රදර්ශනයක්, සාර්ක් කතා මාලාවක්, සාර්ක් විශේෂ දේශන සහ හවුල්කාරිත්වයේ සාර්ක් විශේෂ දේශන, සහයෝගීතා ව්‍යාපාර වැනි සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයෙන් 2023දී සිදු කරන ලද ක්‍රියාකාරකම් පාලක මණ්ඩලයේ පැසසුමට ලක් විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කැලණිය විශ්වවිද්‍යාලය, සහ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වැනි ආයතන සහ ජාතික චිත්‍රපට සංස්ථාව සමඟ එක්ව SAARC චිත්‍රපට දිනයක් ද පවත්වා තිබිණි.
2024 වසරට යෝජිත වැඩසටහන් සහ ක්‍රියාකාරකම් ඒකමතිකව අනුමත කළ අතර, සාමාජික රාජ්‍යයන් ඔවුන්ගේ පූර්ණ සහයෝගය දීමට පොරොන්දු විය.
සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය ආහාර උත්සව, චිත්‍රපට උත්සව, සංගීත සංදර්ශන, රෙදිපිළි සහ විලාසිතා ඉසව්, කලාකරුවන්ගේ කඳවුරු, පර්යේෂණ සම්මන්ත්‍රණ සහ වැඩමුළු 2024දී සිදු කිරීමට අපේක්ෂා කරයි.
2009දී පිහිටුවන ලද සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය, සාර්ක් සාමාජික රටවල් අතර සංස්කෘතික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස සේවය කරයි. කලාපය තුළ සබඳතා ශක්තිමත් කිරීම, අවබෝධය වර්ධනය කිරීම සහ පොහොසත් සංස්කෘතික විවිධත්වය සැමරීම සඳහා විවිධ මුලපිරීම් සිදු කරයි. වැඩි විස්තර සඳහා https://saarcculture.org/ වෙත පිවිසිය හැකිය.