Sunday, May 11, 2025
Home » තාත්තාගේ හයිය නොපෙන්වූ පොලිස් ඇමැතිගේ පුතා

තාත්තාගේ හයිය නොපෙන්වූ පොලිස් ඇමැතිගේ පුතා

by sachintha
December 5, 2023 12:44 am 0 comment

ගලගෙදර පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් මීට දින කීපයකට ඉහත දී මහනුවර ගලගෙදර 10 කණුව ප්‍රදේශයේ රථ වාහන රාජකාරියේ යෙදී සිටින අතරතුර දී මහනුවර දෙසට ගමන්ගත් සුඛෝපභෝගී වාහනයක් ත්‍රිරෝද රථයකට ඉස්සර කර ධාවනය කිරීමට යාමේ දී මාර්ගයේ සුදු ඉරි කැපෙන අයුරු නිරීක්ෂණය වී තිබේ. වහා ක්‍රියාත්මක වූ රථ වාහන පොලිස් නිලධාරීන් සංඥා කර අදාළ වාහනය නැවතීමට කටයුතු කර ඇති අතර ඔහු කළ වරද පහදා දී දඩ කොළයක් ලබාදීමට කටයුතු කර තිබේ.
එහි දී දඩකොලය ලබා ගත් තරුණයා ආසන්නම තැපැල් කාර්යාලය කොහේදැයි පොලිස් නිලධාරීන්ගෙන් විමසා තිබේ.
පොලිස් නිලධාරීන්ද ආසන්නතම තැපැල් කාර්‍යාලය පිලිබඳ විස්තර ලබා දුන් අතර දඩ කොළය ලියමින් සිටි පොලිස් නිලධාරියා “දඩ ගෙවන්න මහන්සි වෙන්න ඕන නෑ. අපිට උදව්වක් කරලා යන්න පුළුවන්“ යැයි පවසා තිබේ.
මෙහි දී තරුණයා පවසා ඇත්තේ තමන් වරදක් කර ඇති හෙයින් දඩ කොළය ලබා දෙන ලෙසයි. දෙපාර්ශ්වය අතර කෙටි කාලය තුළ ඇති ඇතිවූ කතාබහේ දී එම තරුණයා තමන් ටිරාන් අලස් අමාත්‍යවරයාගේ පුතු බව පවසා තිබේ.
මෙයින් පුදුමයෙන් පුදුමයට පත්ව මුහුණට මුහුණ බලා ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා “ඇයි කලින් නොකිව්වේ“ යැයි විමසීමේ දී ඉතා නිරහංකාර සිනහවකින් පමණක් එම තරුණයා පිළිතුරු ලබා දී ඇත.
අනතුරුව එක් පොලිස් නිලධාරියකු රුපියල් 1100ක අදාළ මුදල් ලබාගෙන තැපැල් කාර්යාලයට ගොස් දඩය ගෙවා එම රිසිට් පත සහ රියදුරු බලපත්‍රය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ පුතු වෙත ලබා දීමට කටයුතු කිරීමෙන් අනතුරුව ඔහු ස්තුති පූර්වකව එය භාරගෙන එතනින් නික්ම ගොස් ඇත. මෙහි දී පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ වෙනත් අමාත්‍යවරයකුගේ දරුවකුට මෙවැනි සිදුවීමක් උනානම් තත්ත්වය හාත්පසින්ම වෙනස් බවය.
බණ්ඩාරගම බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT