Home » තමිල් අරුසුකච්චි පක්ෂ නායකත්වයට සුමන්තිරන් ශ්‍රීධරන් නම් දෙති

තමිල් අරුසුකච්චි පක්ෂ නායකත්වයට සුමන්තිරන් ශ්‍රීධරන් නම් දෙති

by sachintha
December 5, 2023 1:00 am 0 comment

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මීළඟ නායකත්වය සඳහා එම්.ඒ. සුමන්තිරන් සහ එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරු ඉල්ලුම්පත් භාර දී තිබේ. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්ධන් මන්ත්‍රීවරයා හා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා ලබන වසරේ දී දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානම් නිසා පක්ෂයේ මීළඟ නායකත්වයට අයඳුම්පත් කැඳවා තිබූ අවස්ථාවේ මෙම මන්ත්‍රීවරු දෙදෙනා අයදුම්පත් යොමු කර ඇත. එක් අයදුම්පතක් පක්ෂයේ නිත්‍ය සාමාජිකයින් 6 දෙනෙකුට වඩා වැඩි සංඛ්‍යාවකගේ අනුමැතියෙන් හා යෝජනා ස්ථිරත්වයෙන් යුතුව ඉදිරිපත් කළ යුතු බවට පක්ෂයේ ලේකම් පී. සත්‍යලිංගම් මහතා විසින් නිවේදනය කොට තිබේ. ඒ අනුව සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ අයදුම්පතට නිත්‍ය සාමාජිකයින් 12 දෙනෙකුගේ නිර්දේශ අනුමැතිය හා යෝජනා ස්ථිරත්වය ලැබී ඇති අතර, ශ්‍රීධරන් මන්ත්‍රීවරයාට නිත්‍ය සාමාජිකයින් 6කුගේ අනුමැතිය ලබා දී තිබේ.

අයදුම්පත් ඉදිරිපත්කොට ඇති මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් සුමන්තිරන් මන්ත්‍රීවරයා කොළඹ ප්‍රදේශයෙන් උතුරට පැමිණි අයකු වන අතර එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා කිළිනොච්චියේ ඉපිද ඒ පළාතේම ජීවත් වන අයෙකි. මේ නිසා සුමන්තිරන් මන්ත්‍රීවරයාට වඩා වැඩි වාසියක් ශ්‍රීධරන් මන්ත්‍රීවරයාට ඇති බව දෙමළ ජාතික සන්ධානයේ අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය. ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය සඳහා නව නායකයකු පත් වීමෙන් පසුව සමස්ත දෙමළ ජාතික සන්ධානයේ නායකයා කවුරුන්දැයි යන්න පසුව තීරණය කරනු ලබයි. කෙසේ වෙතත් එළඹෙන ජනවාරී මාසයේ දී ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාව වවුනියාවේ දී රැස්වීමට නියමිත අතර එම රැස්වීමේ දී පක්ෂයේ නව නායකයා තෝරා ගැනීමට ද නියමිතව ඇත.

 

උතුරු පළාත් විශේෂ
රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT