වැඩිදුර කරුණු සලකා බැලීම ජනවාරි 11දා
රජයේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා පළාත් මට්ටමින් බඳවා ගැනීම් සිදු කිරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් හයක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) තීරණය කළේය. පාසල්වල ඉගැන්වීම් කටයුතු කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහනය නොකර විභාගයක් පවත්වා ගුරුවරුන් බඳවා ගැනීමට ගනු ලැබූ තීරණය මෙම පෙත්සම් මගින් අභියෝගයට ලක් කර තිබුණි.
දිවයින පුරා පිහිටි රජයේ පාසල්වල මේ වන විට 40,000ක පුරප්පාඩු ඇති බවත් ඒවා පීරවීමට විභාගයක් පවත්වා බඳවා ගැනීම් සිදු කිරීමට බාධා කිරීමට අධිකරණ ක්‍රියාවලිය අවභාවිත කරමින් සංවර්ධන නිලධාරීන් පිරිසක් කටයුතු කර ඇති බව අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සහ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතීඥ නුවන් බෝපගේ මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම් ඉවත දමන ලදී’
මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණය මත පෙත්සම් නිෂ්ප්‍රභ කෙරිණි.
මධ්‍යම රජය හරහා ගුරුපත්වීම් ලබා දීමට නියමිතව තිබූ විභාගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් ලබාගත් පෙත්සම්කරුවන්ම පළාත් මට්ටමින් ගුරුවරුන් බඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට තවත් පෙත්සම් ගොනු කර ඇති බව නීතිපතිවරයා සහ අධ්‍යාපන ඇමැතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිමින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කීය. එහිදී අතිරේක සොලිස්ටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා සඳහන් කළේ මෙම පෙත්සමට අදාළව ලබා දී ඇති අතුරු නියෝගය හේතුවෙන් දැනට පවතින ගුරු පුරප්පාඩු සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට බාධාවක් ඇති වී ඇති බව ය.
රජයේ පාසල්වල ගුරු පුරප්පාඩු හතළිස් දහසක් පමණ පවතින බවත් මධ්‍යම රජය මගින් ඒවා පිරවීමට ගත් පියවර පෙත්සම්කරුවන් විසින් අධිකරණයෙන් අතුරු නියෝගයක් ලබා ගැනීම නිසා වැළකී ඇති බව ඒ මහතා සඳහන් කළේය.
රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා දීමේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගත් සංවර්ධන නිලධාරීන් ඇතැම් පාසල්වල පැවැති පුරප්පාඩු හේතුවෙන් එම පාසල්වල ඉගැන්වීම් කටයුතු සඳහා යොමු කළ බව ඒ මහතා සඳහන් කළේය. එහෙත් ඔවුන්ට එය විධිමත් පුහුණුවක් නොවන බැවින් විභාගයට මුහුණ දීමකින් තොරව ඔවුන් ගුරු සේවයට අන්තර්ග්‍රහනය කළහොත් එය ඔවුන්ට විශේෂ කොට සැලකීමක් වන බව ඒ මහතා සඳහන් කළේය. අනතුරුව පසුගිය දා ගත් කැබිනට් තීරණයක් අනුව පළාත් මට්ටමින් ගුරුවරුන් බඳවා ගැනීමට නිකුත් කරන ලද ගැසට් නිවේදන අභියෝගයට ලක් කරමින් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයට පෙත්සම ගොනු කර ඇති බව ඒ මහතා සඳහන් කළේය. ඒ අනුව පෙත්සම් ගොනු කරමින් දිවයින පුරාම බඳවා ගැනීම් වැළැක්වීමට පෙත්සම්කරුවන් කටයුතු කර ඇති අතර මෙම තත්ත්වය යටතේ පාසල්වල කටයුතු පවත්වාගෙන යන්නේ කෙසේද යන්න අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රශ්න කළේය.
මෙලෙස කටයුතු කරමින් පෙත්සම්කරුවන් අධිකරණ ක්‍රියාවලිය අවභාවිත කිරීමට උත්සාහ කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය. එබැවින් මෙම පෙත්සම ගොනුකර ඇති පෙත්සම්කරුවන්ට අදාළ පත්වීම් ලබාදීමට අවස්ථාව සලසමින් පුරප්පාඩු පිරවීම සඳහා විභාගයක් පවත්වා අදාළ බඳවා ගැනීම සිදු කිරීමට හැකි බවට ඒ මහතා කරුණු ඉදිරිපත් කළේය .
එහෙත් ඒ පෙත්සම්කරුවන් පමණක් නොව මේ වන විට උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් විසිපන්දාහක් පමණ මේ වන විට පාසල්වල සේවය කරන බව පෙත්සම්කාර පාර්ශ්වය පෙන්වා දුන්නේය. ඔවුන් සියලු දෙනාම ගුරුවරුන් ලෙස බඳවා ගත යුතු බව ද ඔවුහු අධිකරණයේ දී කරුණු ඉදිරිපත් කළහ.
එම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීමක් ලබන ජනවාරි මස එකොළොස් වැනිදා සිදු කිරීමට තීරණය කළේය.
වසර තුනකට අධික කාලයක් ගුරුවරුන් ලෙස පාසල්වල සේවය කරමින් සිටින සංවර්ධන නිලධාරී පත්වීම් ලැබූ චතුරිදේවමුනි ඇතුළු තිස්තුන්දෙනකු විසින් මෙම පෙත්සම් ගොනුකර තිබුණි. විභාග කොමසාරිස් ජෙනරාල්වරයා, අධ්‍යාපන ඇමැතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා, රාජය සේවා කොමිසම ඇතුළු පිරිසක් පෙත්සමෙහි වගඋත්තරකරුවෝ වෙති.
රම්සි බාචා නීතිඥ සමාගමේ උපදෙස් මත නීතිඥ නුවන් බෝපගේ මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.
නෙල්කා මැදගෙදර