Home » වැසි කාලගුණයෙන් ප්‍රධාන ජලාශ 37ක් වාන් දමන මට්ටමේ

වැසි කාලගුණයෙන් ප්‍රධාන ජලාශ 37ක් වාන් දමන මට්ටමේ

by sachintha
December 5, 2023 12:00 am 0 comment

වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය නිසා රාජාංගණය, දැදුරුඔය, තබ්බෝව, රබකැන්ඔය, යාන්ඔය, වෙහෙරගල, ඇතුළු ප්‍රධාන ජලාශ 37ක් වාන්මට්ටමේ පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ මහත්මිය ප්‍රකාශ කළාය. දිවයින පුරා ජලාශවල ජල මට්ටම සියයට 72ක් දක්වා ඉහළ ගොස් ඇත. එය අක්කර අඩි ලක්ෂ 23 ඉක්මවා ඇති බවත් ඇය සඳහන් කළාය.

එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73 හි ජල මට්ටම වේගයෙන් ඉහළ යමින් පවතින බව ද ඉංජිනේරුවරිය සඳහන් කළාය.

මිඡවුම්”(MICHAUNG) සුළි කුණාටුවෙන් දිවයිනේ කාලගුණයට සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල කාලගුණයට සිදුකරන ලද බලපෑම අද(05) දිනයෙන් පසු ක්‍රමයෙන් අවම වේ යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවැසීය.

එම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීම අවධානම් බැවින් නැවත දැනුම් දෙන තුරු එම මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම් දෙයි. ඒ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්ද නිකුත් කර තිබේ. සෙසු මුහුදු ප්‍රදේශවල අවධානයෙන් කටයුතු කරන ලෙස ද දෙපාර්තමේන්තුව අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

මහනුවර දිස්ත්‍රික්යේ පස්බාගෙ කෝරලේ ප්‍රාදේශීය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නායයාම් පිළිබඳ ඉවත්වීමේ රතු නිවේදනය නිකුත් කර තිබේ. එමෙන්ම ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක් සඳහා නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීමේ දෙවැනි සහ පළමු අදියරේ නිවේදන නිකුත් කර ඇත. මෙම අනතුරු ඇඟවීම් අද(05) පස්වරු 1.00 දක්වා වලංගු වේ. රත්නපුර දිස්ත්‍රික්කයේ නායයාම් අවධානම් කලාපවල පදිංචිකරුවන් ගැන සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබේ. එමෙන්ම කණ්ඩි කඩාවැටීම් පිළිබඳ අවධානය යොමුකරන මෙන්ද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

අද(05) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් වයඹ සහ උතුරු පළාත්වල වැසි වාර කීපයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාලගුණ අනාවැකියක් සඳහන් කරමින් කියා සිටී. සෙසු ප්‍රදේශවල ප.ව 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඊයේ(04) පෙරවරු 8.30න් අවසන් වූ පැය විසිහතර තුළ වැඩිම වර්ෂාපතනය මි.මී 160.5ක් ලෙස ගාල්ල බෙන්තොටවත්ත ප්‍රදේශයෙන් වාර්තා විය.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති ” මීඡවුම්”සුළි කුණාටුව ඊයේ(04) පෙරවරු11.30 වන විට චන්ඩසුළි කුණාටුවක් දක්වා වර්ධනය වී

යාපනයේ සිට කි.මී 440ක් පමණ ඊසාන දෙසින් පැවැතිණ. මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවෙන් ඉවතට, උතුරු දෙසට ගමන් කර අද(05) වන විට දකුණු ආන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් එම ගොඩබිමට ඇතුළුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

උපාලි කරුණාරත්න, නිරෝෂණ පෙරේරා(කහවත්ත)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT