ප්‍රවීණ රංගන ශිල්පි සුමින්ද සිරිසේන මහතා (75) ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (04) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. වේදිකා, සිනමා හා රූපවාහිනී නළුවකු ලෙස රංගන දක්ෂතා දැක්වූ ඒ මහතා 1948 වසරේ ජූලි 4 වැනිදා මෙලොව එළිය දුටුවේය. ඔහු පුස්සැල්ලාව මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය ලැබුවේය. ඔහුගේ ප්‍රථම රංගනය (1969) ‘මූදු පුත්තු‘ වේදිකා නාට්‍යයෙන් සනිටුහන් කළ අතර ‘මීපුර වැසියෝ‘ නාට්‍යයේද ඔහු රඟපෑවේය.
එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු, බවකඩතුරාව, මහාසාර, මනමේ නාට්‍යවල රඟපෑ ඔහු බවකඩතුරාව වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය. එමෙන්ම ඔහු 2002 වසරේ දී “සිවුරංග” නමින් නාට්‍ය පාසලක්ද පිහිටුවීය. එම ඇකඩමියෙන් ශිෂ්‍ය කණ්ඩායම් හතරක් බිහි කිරීමට ඔහුට හැකි විය. ඉන්පසුව ඔහු කොළඹ ටවර් හෝල් ඇකඩමියේ උපදේශකවරයකු ලෙසද සේවය කළේය.
ඔහුගේ ප්‍රථම ටෙලිනාට්‍යය වූයේ සිහින නිම්නයයි. චරිත තුනක්, බෝගල සවුන්දිරිස්, රම්‍ය සුරම්‍ය, යස ඉසුරු, කුමාරි හාමි වැනි නාට්‍යය 40 කට අධික සංඛ්‍යාවකට ඔහු රංගනයෙන් දායක වී ඇත. ඔහුගේ මංගල සිනමා රංගනය එළිදුටුවේ Òදුහුළු මලක්Ó තුළිනි. ඊට අමතරව සප්ත කන්‍යා, යකඩ පිහාටු, උප්පලවන්නා, සමනල තටු, ඉර හඳ යට ඇතුළු චිත්‍රපටවල සිය රංගන ප්‍රතිභාව මනාවට පිළිබිඹු කළේය.
සේපාලිකා සහ බොරලු පාර ටෙලි නාට්‍යවල රඟපාමින් සිටිය දී ඔහුගේ අසනීප තත්ත්ව මතුවූ අතර, ඉන් පසු රංගනයට සම්බන්ධව සිටියේ නැත. බොහෝ සම්මාන උලෙළවල හොඳම නළුවා ලෙස ද සම්මානය ලබා ඇත. කලාව වෙනුවෙන් ඔහු ඉටු කළ මෙහෙය අගයමින් කලා කීර්ති (2017), කලා භූෂණ (2014) යන සම්මානවලින් ද පිදුම් ලබා ඇත.
නෙත්මි පූජනී රත්නායක