Home » මෙරට ගිනි අවි 37000කට පමණ බලපත්‍ර ලබා දීලා

මෙරට ගිනි අවි 37000කට පමණ බලපත්‍ර ලබා දීලා

by chanaka
December 5, 2023 4:01 pm 0 comment

වසර දහයක් පමා වූ 1996 අංක 22 දරණ ගිනි අවි (සංශෝධන) පනත හා පුපුරණ ද්‍රව්‍ය (සංශෝධන) පනත සංශෝධනය කිරීම කඩිනම් කරන්න ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) විසින් ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන්ට පසුගියදා උපදෙස් දුන්නේය.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතීත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ 2020, 2021 හා 2022 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය විමර්ශනය සිදු කෙරිණි.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

1996 අංක 22 දරණ ගිනි අවි (සංශෝධන) පනත හා පුපුරණ ද්‍රව්‍ය (සංශෝධන) පනත සංශෝධනය කිරීම සදහා 2012 වසරේ සිට කාරක සභාව මගින් නිර්දේශ කර තිබුණද එය විවිධ හේතුමත පමා වී ඇති බව හෙළිවිය. මේ වන විට ගිනි අවි 37000කට පමණ බලපත්‍ර ලබා දී ඇති බව ද නිලධාරීහු පැවසූහ.

මේ වන විට සංශෝධිත පනත් කෙටුම්පත අවසන් අදියරේ පවතින බැවින් කඩිනමින් එම කටයුතු අවසන් කරන බව නිලධාරීහු සදහන් කළහ. බලපත්‍ර ගාස්තු සංශෝධන කළ යුතු බැවින් මෙම ප්‍රමාදය ඔස්සේ රාජ්‍ය ආදායම අහිමි වීම සිදුවන නිසා එම කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව කමිටුවේදී අවධාරණය කෙරිණි. මේ අනුව මෙහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස ද උපදෙස් දීම සිදුවිය.

ත්‍රිවිධ හමුදාව විසින් බාහිර පාර්ශවයන් සදහා සපයන සේවාවන් මගින් උපයන ආදායම් ඒකාබද්ධ අරමුදලට බැර කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් බැවින් ඒ සම්බන්ධ නිසි ක්‍රමවේදයක් සකසා වාර්තා කරන ලෙස දැනුම් දී ඇතැත් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම පිළිබඳ ද අවධානය යොමු විය. බොහෝ ආදායම් සුබසාධක සංගම් වෙත යොමු වන බවත් එසේ සිදු කිරීමේදී නිසි ක්‍රමවේදයක් සැකසිය යුතු බවත් පෙන්වා දුන්නේය. එම සේවාවන් සාර්ථකව සිදුවන නමුත් ඒ සදහා පැහැදිළි ක්‍රමවේදයක් සකසන ලෙසත් කාරක සභාව විසින් උපදෙස් ලබා දෙන ලදී. එසේම මේ පිළිබඳව වඩාත් පුළුල් ලෙස සමාලෝචනය කරන ලෙස ද අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ත්‍රිවිධ හමුදාවන් සදහා ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනය සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමු විය. ත්‍රිවිධ හමුදාවන් සදහා ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ සියලු ආයතන සම්බන්ධ කරමින් තොරතුරු කළමනාකරණ පද්ධතියක් සැකසීමට ‍මීට පෙර නිර්දේශ ලබා දී තිබුණද එය ක්‍රියාත්මක වන්නේ නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ පමණක් බව මෙහිදී අනාවරණය විය. ඒ අනුව යුධ හමුදාවේ ‍එම පද්ධතිය සැකසීමේ කටයුතු කඩිනම් කරන ලෙසත් ඒ සම්බන්ධ වාර්තාවක් ලබා දෙන ලෙසත් නිලධාරීන්ට නියෝග කෙරිණි. එසේම වියදම් කරන මුදලට සරිලන ප්‍රතිලාභයක් සොල්දාදුවන් ඇතුළු පාර්ශවයන්ට ලැබීම තහවුරු කළ යුතු බව කමිටුවේදී අවධාරණය කෙරිණි.

ජාතික ආරක්ෂක විද්‍යායතනයේ පාඨමාලාවට සහභාගීවන නිලධාරීන් 31 සදහා නවාතැන් පහසුකම් ලබා දීම වෙනුවෙන් රු. මිලියන 72ක මුදලට බදුකුලී ගිවිසුමක් මත ගෘහ ඒකක 24කින් යුත් නිවාස සංකීර්ණයක් ලබා ගැනීම සම්බන්ධවද සාකච්ඡා විය. මෙවැනි බදු මුදලක් මත නිවාස ලබා ගැනීම වෙනුවට අලුත් ඉදිකිරීමක් සිදුකොට නවාතැන් පහසුකම් ලබා දීමේ හැකියාව පිළිබද ‍අවධානය යොමු කරන ලෙස උපදෙස් දුන්නේය. වත්මන් ආර්ථික තත්ත්වය මත ඉදිකිරී‍ම් නවතා ඇති බැවින් ඉදිරියේදී ඒ සම්බන්ධ පියවර ගන්නා බව ආරක්ෂක ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

පාරිභොගික ද්‍රව්‍ය ගබඩාවේ රු. මිලියන 12ක ද්‍රව්‍ය අස්ථානගතවීමක් පිළිබඳව ද අවධානය යොමුවිය. මේ වන විට ඊට අදාළ සියලු දෙනාගේ වැඩ තහනම් කර ඇති බවත් ගබඩා භාරකරුගෙන් අදාළ මුදල් අය කර ගැනීමට පියවර ගෙන ඇති බවත් නිලධාරීහු පැවසූහ. මෙම සිදුවීම විගණකාධිපති දෙපාර්මේන්තුවේ විගණනයෙන් අනාවරණය කරගන්නා තුරු අභ්‍යන්තර විගණනයෙන් හෙළි නොවුනේ මන්දැයි මෙහිදී සාකච්ඡා විය.

මීට අමතරව උපාය මාර්ගික සන්නිවේදන ජාල ව්‍යාපෘතිය, ප්‍රසම්පාදන ක්‍රියාවලිය, ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ආදිය පිළිබඳව ද අවධානය යොමු විය.

රාජ්‍ය අමාත්‍යවරයන් වන මොහාන් ප්‍රියදර්ශන, ඩයනා ගමගේ, චාමර සම්පත් දසනායක, ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන තිස්ස අත්තනායක, හෙක්ටර් අප්පුහාමි, ජේ.සී. අලවතුවල, ජයන්ත කැටගොඩ, මේජර් ප්‍රදීප් උඳුගොඩ, වීරසුමන වීරසිංහ, ඉසුරු දොඩන්ගොඩ, සහන් ප්‍රදීප් විතාන යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT