Home » උපුල් තරංගගේ මූලිකත්වයෙන් ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කරනවා – ඇමැති හරීන් ප්‍රනාන්දු

උපුල් තරංගගේ මූලිකත්වයෙන් ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කරනවා – ඇමැති හරීන් ප්‍රනාන්දු

by sachintha
December 5, 2023 1:01 am 0 comment

හිටපු ක්‍රීඩක උපුල් තරංග මහතාගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇතැයි ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) පැවසීය.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ පැවැති විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ඇමැතිවරයා මෙසේද පැවසීය.

ක්‍රීඩාව යනු ඇඳිය යුතු දෙයක් මිස පැලඳිය යුතු පදක්කමක් නොවේ. ක්‍රීඩාව කොටු කරලා තිබෙන්නේ ක්‍රිකට්වලට. ක්‍රිකට් සභාපතිවරයාට ඕනෑ කෙනෙක් තමයි ඇමැතිවරයා ලෙස පත්ව තිබෙන්නේ කියලා ලොකු චෝදනාවක් මට තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම මම බැහැර කරනවා. ක්‍රීඩා පනත සංශෝධනය කළ යුතුයි. ක්‍රිකට් ක්‍රීඩා සංගම්වලින් ඉවත්වෙන්න ඒවායේ සාමාජිකයන් කැමති නැහැ. ටුවර් යන්න තමයි ඔවුන්ට අවශ්‍ය වන්නේ. ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීකරණයෙන් ඉවත් කර ගත යුතුයි. ක්‍රිකට් කෝචර්ස්ලාට, උපදේශකවරුන්ට ලැබෙන වැටුප ගැන ප්‍රකාශයට පත් කළාම සමාජය තුළ ක්‍රීඩකයන් ගැන වෛරයක් ඇති වෙනවා. එල්.පී.එල්. කණ්ඩායම් දෙකක ක්‍රීඩකයන්ට මුදල් ගෙවා නැහැ. එවැනි දේ වෙන්න ඉඩ තබන්න බැහැ. මේ අමාත්‍යාංශය බාරගෙන සතියක්වත් නැහැ. ක්‍රිකට් තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති වන ආකාරයෙන් කටයුතු කරන්න.

උපුල් තරංග ක්‍රිකට් තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් කරන්න මම හිතනවා. මුළු ලංකාවම ක්‍රිකට් ගහන්නේ නැහැ. ලංකාවේ මිලියන 4ක්වත් ක්‍රිකට් ගහන්නේ නැහැ. බදුල්ලෙන්, අම්පාරෙන්, මඩකලපුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමේ සිටිනවාද? ගමට ක්‍රිකට් ගිහිං නැති බව එමඟින්ම තේරුම් ගත හැකියි. ක්‍රීඩාංගණ සම්බන්ධයෙන් පවතින්නේ ඛේදනීය තත්ත්වයක්. සුගතදාස ක්‍රීඩාංගණය එදා හැදුවාට පසුව අද වන තෙක් දියුණුවක් වෙලා නැහැ. හැම ගම්මානයකටම ක්‍රීඩා පිට්ටනියක් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය යුතුයි. ලක්ෂ 43ක් ඉතිරි කරමින් වසරකට මිලියන 50ක් ඉතිරි කර එය ක්‍රීඩාව සඳහා යොමු කිරීමට රාජ්‍ය ඇමැතිවරයා පියවර ගෙන තිබෙනවා. එය සැබැවින්ම අගය කළ යුතු කාරණාවක්. ඇන්ට්කරප්ෂන් නීතිය හරහා දඬුවම් කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවා. රොෂාන් රණසිංහ මහතාට වුණත් තවමත් අප සමඟ එක්ව කටයුතු කරන්න පුළුවන්. මට මේ අමාත්‍යාංශය ඔටුන්නක් නොවේ. එය තවත් අභියෝගයක්. ඒ අභියෝගය ජය ගන්න මම කටයුතු කරනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x